ආයුබෝවන්

මගේ බ්ලොග් එක ගැන.........
ඔබේ හිතේ තියන දේ.........
හිතේ හැටියට.......................
මගේ මයික්කරපෝනයට කියල යන්න........................

2010-12-23

නැගෙනහිරට මැවිසුරු හිරු පෑයූ බවයි !!!!!!!!!!!!!!


මම දෙනෙත් පියාගත්තෙමි........
මොහොතකට පසුව සියල්ල ඒ ලෙසින්ම පෙනෙන්නට විය.......
චිත්‍රපටයක මෙන් ආරම්භයේ සිට අවසානය දක්වාම මනසේ චිත්‍රණය වන්නට පටන් ගත්තේය.... අලුයම හතරට ඇඟ දැවටුන සුලං රැල්ලත් සමඟ මුහුණු වල දුටු ඒ ප්‍රමෝදය පෙරදා රාත්‍රියේ එකේ කණිසම දක්වාම ඒ ලෙසින්ම පැවතුනි.
කෙනෙක්ගේ අතින් වැයෙන බොංගෝවේ නාදය, තවත් කෙනෙක්ගේ මුවෙන් ගැයෙන ගීතයක ඇති රසය තව තවත් තීව්‍ර කලේය.
උදෑසන ගත දැවටුන ඒ උඳුවප් මහේ සීතල සුලං රැල්ල කෙමෙන් කෙමෙන් ගතට හුරු පුරුදු වියලි සුළඟක් බවට පත් වූයේ හෝරා හතරකට පහකට පමණ පසුව නැගෙනහිරකරයට අපව ආයුබෝවන් කියමින් පිළිගන්නාක් මෙනි.

මූදු මහා විහාරයේ මහා වැලි පරය තරණය කිරීමෙන් අනතුරුව අපි පැමිනි දෙය වෙත පැමිණියෙමු.. ආරුගම්බේ වෙරල, එය ඇසට ප්‍රිය උපදවනසුලු දසුනකි.
එක් එක් අය එක් එක් දේ කරයි..
පිරිසක් රැල්ලත් සමඟ පොර බදී...
මුහුද ටිකක් සැර නිසාමදෝ එය වින්දනීය පොර බැදීමකි..
කෙනෙක් ලෑලලක් ගෙන එය මත හිඳ පීනන්නට උත්සාහ කරයි..
බොහෝ තැන් වලදී නොව සෑමවිටම එම උත්සාහය අසාර්ථක වීම අප හැම දෙනාගේම මුවඟට හසරැල්ලක් කැන්දයි.
තවත් පිරිසක් රගර් ක්‍රීඩාවේ යෙදෙති... තවත් පිරිසක් පාපන්දු... සැබවින්ම එය විනෝදජනකය....

නවාතැන්පොලේ රාත්‍රිය තවත් එක සොඳුරු මතකයක් එක් කරයි...
ආගන්තුක සත්කාරය නොඅඩුව ලැබුනේ එය සෙනෙහෙබර පියෙක්, මවක් ඇතුලු සුරතල් දරුවන් සතර දෙනෙකුගේ ආදරණීය කැදැල්ලක් වූ නිසාය...........
පානම වෙරල තීරයේ රාත්‍රියට ඇති සුන්දරත්වය වචනයෙන් විස්තර කල නොහැකි තරම්ය..
කිසිඳු මිනිස් පුලුටක් නොමැති වෙරල තීරයක හෝරා දෙකකට පමණ අපි තනිවීමු...
පුන් පොහෝ දිනයක පායන සඳක සඳ එලිය මෙතරම් සොඳුරු දැයි උඳුවප් සඳ දෙස බලා හිඳිමින් මා මාගෙන්ම විමසුවෙමි...
ඉමක් කොනක් නොපෙනෙන වෙරල තීරය සුදෝවන් රල කැටි වෙරල සිප ගන්නා අපූරුව සඳ එලියෙන් තව තවත් ඔපවත් කරයි...
සයුරේ කනට මිහිරි වූ ඒ ඝොෂාව මැද්දෙන් කෙනෙක් උස් හඬින් කරන කතාවක් ඇසේ..
බෝතල් වීදුරු ගැටෙනා හඬ අතරින් රසවත් වීමට මෙතරම් කදිම ස්ථානයක් වෙනත් නැතැයි කෙනෙක් කියයි.. සෙස්සෝද ඔහු අනුවම යමින් එය සඵත කරයි..
ඇඟිලි තුඩු මතින් මැවෙන ගිටාරයේ සංගීත නාදය රළ හඬත් සමඟ එක් වූ විට ගෙනදෙන්නේ අපූර්ව මිහිරියාවකි..

බැලුම් ගලෙන් බැලුම් දමා හැඩ ඔයෙන් හැඩවී අපි නැවතත් ආපසු සිව් අවුරුදු නවාතැන්පොල කරා පැමිනෙමිනින් සිටී...
හිතේ කෙලවරක මොකක්දෝ දුකක් සැඟවී ඇති බවක් දැනේ..
කෙසේ වෙතත් හොමෙෂ් ගේ ගිටාරය බන්ඩා ලොකුවා කුඩ්ඩාගේ මනරම් බොන්ගෝ නාදය එම දුක තුනී කර දෙයි..
කෙනෙක් ජනේලයෙන් පිටත බලාගත් වනම බලාගෙන සිටී...
තවකෙක් දුරකතනයේ එල්ලීගෙනය..
එක් අයෙක් උදෑසන සිදු කල සූර්ය දිව්ය නමස්කාරය ගැන පවසයි...
තවත් පිරිසක් හාරත කලාබර කොල අතර කාලය දිය කර දමයි....

අවසන් පැය හතරේ කතාවේ අයිතිය සම්පූර්නයෙන්ම අසන්තගේය..
ස්වර්නවාහිනී සිහිනය තුල නිමග්න වන ඔහු සැම දෙනාගේම නෙත් සිත් ඇඳ බැඳ තබාගනිමින් දවසක් වුවත් එලෙසින් වදන් හරඹයන් දක්වනු ඇත...
ඉතා සුලු නිමේශයකට නිශ්ශබ්ද වන බස් රිය තවත් මොහොතකදී මුළුමනින්ම සිනහවෙන් ඇලලී යයි..
මැන්ටා යදීශ මිගාර සහ රංගද අසන්තගේ රුවන් වැකි උදෙසා අගුල් තබති.......
සෙස්සන් හූමිටි තියති..
කෙල්ලන්ගේ සිනා හඬ මැද අසන්තගේ මුවෙන් පිටවන වචනයක කලාතුරකින් ඇති නොගැලපෙන බව අපේ සිනහව වැඩි කිරීමට සමත් වෙයි...

ගනුශ්ක ගැන සඳහන් නොකලහොත් මේ සිහිනයෙන් පලක් නැත......
අපට මේ සිහිනය දකින්නට ලැබුනේ ඔහු නිසාය....
ගමනේ මුලු බරම පාහේ ඇද්දේ ඔහුය... ඔහුගේ උත්සාහය දහිරිය පැසසිය යුතුය...
කාල කලමණාකරනය අති විශිෂ්ඨය..
නැත්නම් කිසිදිනක බස් රථයක නිදාගැනීමට නොහැකි සුනෙත්ට එටිසලාට් සම්මුඛ පරීක්ෂණය සඳහා යාමට ලැබෙන්නේ නැත...
චන්දිම සහ ලොක්කාටද ගනන් හිලව් වගකීම භාරගත් සුනාරිටද අවංක ස්තූතිය පිරිනැමිය යුතුය....

සිහිනය නිමාවී ඇත......
මා නැවතත් පියවි ලෝකයට පැමින තිබේ...
නමුත්..........
එම සිහිනය නැවත නැවතත් දකින්නට මා ප්‍රිය කරමි......
එය එසේ කල හැකිය.... මන්ද එය සැබෑවූ සිහිනයක් නිසාවෙනි....
එම සිහිනය සුන්දර කිරීමට වෙර දැරූ සැමට හද පිරි ස්තූතිය !!!!!!!!!!!!!!!!!!!!!

අපේ ගමනේ වික්‍රමයන් දැක බලා ගැනීමට මෙය මත සහ මෙය මත ක්ලිකයක් දමන්න

2010-07-01

කැම්පස් ලයිෆ් එකට අවුරුදු දෙකයි….



කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තට ගොඩ වුනාමයි දැක්කෙ සෑහෙන කාලකින් ඒ කියන්නෙ මාස දෙකකින් විතර මුකුත්ම ලියල නෑ නේද කියල…
කැම්පස් එකේ මේ සති 20ට ඒ කියන්නෙ තේරෙන භාසාවෙන් කියනවනම් 2nd semester එකට තියන වැඩ වල හැටියට ලියන්න තියා බ්ලොග් එක පැත්තට ගොඩ වෙන්නවත් වෙලාවක් ලැබුනොත් තමයි පුදුමේ… කොහොමින් කොහොමහරි එහෙට මෙහෙට වැඩ ටික තල්ලු කරගෙන වෙලාවක් හදාගත්ත පොඩ්ඩක් මේ පැත්තට ගොඩ වෙන්න..... අම්මෝ අන්තිමට ඇවිල්ල තියෙන්නේ අප්‍රේල් මාසේ …


කොහොම හරි හිටිගමන් මේ පැත්තට ගොඩ වෙන්න හිතුනේ ගෙවිල ගිය ජූනි මාසෙ 24 වෙනිද ගැන ලියන්න කියල හිතාගෙන. හ්ම්ම්ම්……. 2010 ජූනි 24…
එදාට හරියටම කැම්පස් ඇවිල්ල අවුරුදු දෙකක් සම්පූර්ණ වුනා..
2007 අපොස උසස්පෙල විභාගය සඳහා පෙනී ඉඳල ඒකෙන් සමත් වෙලා 2008 අවුරුද්දෙ ජූනි 24 වෙනිද තමයි අපි හා හා පුරා කියල මොරටුව කැම්පස් එකට ගොඩ වුනේ..
ඒක ඇත්තටම ජීවිත කාලයක් පුරා දැකපු හීනයක් සැබෑ වීමක්…
එදා තරම් මගෙ ජීවිතේ සතුටක් විඳපු දවසක් නැති තරම්..
එක්වරක් ඒ ජීවිත කාලය පුරා දැකපු හීනය ඇස් දෙක ඉදිරිපිට බොඳ වෙලා යනකොට ඒකෙන් නොසැලී නැවත වරක් ඒ හීනය සැබෑ කර ගැනීමට දරපු උත්සාහය ගැන අවංකවම හිතේ ගුලි වුනු සතුටත් පොදි බැඳ ගනිමිනුයි එදා ඒ විසල් ලෝකයට මං පිය නැගුවෙ….


පළවෙනි දවසෙ නොදන්න නුපුරුදු තැනකට යනව කියන හැඟීම තිබුනත් මාත් එක්ක එකට එක පන්තිවල හිටපු යාලුවො හුඟ දෙනෙක් උඩ batch එකේ හිටපු නිසා හිතට බයක් නම් දැනුනේ නෑ..
ඒත් මොකද්දෝ නුපුරුදු හැඟීමකින් ගතත් හිතත් වෙලිලා ගිහිල්ල තිබුනේ…
සමහරවිට ඒ කිසිම කෙනෙක් අඳුරන්නෙ නැති සමාජයකට යන හින්ද හරි එහෙමත් නැත්නම් අලුත්ම අත්දැකීමක් විඳගන්න ලැබෙන නිසා ඒ අත්දැකීම් මොන වගේ වෙයිද කියන කුතුහලය නිසා හරි ඒ හැඟීම දැනුනා වෙන්න පුලුවන්….


කොහොමහරි මුල් දවස් වල පෝලිම් වල ගමන....
අඳින්න වුනේ dress code කියල එකක්…
ඒ කියන්නෙ boys ල නම් අත් කොට shirt සමගින් දික් කලිසම් ඩෙනිම් බෑ.... සපත්තු දාන්නත් ඕන..
හැබැයි අත් ඔර්ලෝසු ඒ වගේම බෙල්ට් එහෙමත් බැඳගෙන යන්න පුලුවන්… එතකොට girls ල නම් දිග ගවුම්.... අයියල නම් අපට කිව්වෙ අපිව කැම්පස් සංස්කෘතියකටද මොකද්ද එකකට හුරු කරන්න එහෙම කරනව කියල..
ඒ වගේම අපිව අනිත් Faculties වල අයගෙන් වෙන් කරල අඳුනගන්නත් එහෙම ඇන්දම පුලුවන්ලු… කොහොමහරි අයියල කියනකන්ම මාස 6ක් විතර ඒ විදියට dress code එක ඇඳගෙන යන්න වුනා…


මුල් මාස කීපය නම් මාරම ආතල් ....…
අලුත් අලුත් උදවිය යාලුවො විදියට දැන හඳුන ගනන්වා… ඒ අයත් එක්ක විස්තර කතා බහ කරනව..
ඒ වගේම අපේ විස්තර ඒ අයත් එක්ක බෙදා හදා ගන්නවා…
මේ විදියට මුල් සති දෙක තුන ගෙවිල යනකොට ලංකාවේ හතර දික් භාගයෙන්ම යාලුවො ගොඩක් කාගෙ කාගෙත් ජීවිත වලට එකතු කරගන්න පුලුවන් වුනා..
දැන් උනත් ලංකාව වටේම යාලුවො ඉන්නවා කියල දැනෙනකොට හිතට දැනෙන්නේ පුදුම හැඟීමක් ….


මාස තුනක් විතර යනකන් තිබුනේ CSD කියල programme එකක්..
ඒ වෙනකොට අපිව අපේ වාසගම් අනුව පිලිවෙලට group විදියට කඩල තමයි හිටියේ…
මම අයිති වුනේ A2 group එකට..
මට හිතෙන්නෙ අපේ batch එකේ තිබුනු groups වලින් සිරාම group එක තමයි ඒ..
අවුරුද්ද අවසානයේ වෙනස් වෙනස් ෆීල්ඩ්ස් වලට වෙන් වුනාට පස්සෙත් අපි අතර තාමත් තියන බැඳීම ඒ විදියටම තියෙන්නෙ ඒ නිසා වෙන්න ඇති...


කවදාවත් අමතක නොවන A2 පලවෙනි ට්‍රිප් එක…..
මහ වැස්සෙ 60 දෙනෙක් එක්ක හන්තාන නැග්ග කිව්වම…..
පේරාදෙනිය Union එකේ සහයෝගයත් ඇතුව තමයි කට්ටිය හන්තාන නැග්ගේ..
එදා බත් කෑවෙත් මහ වැස්සෙ වතුරත් එක්ක........ හොදි ඕන නෑ එහෙම කන්න ලැබෙනකොට…
සමහරුන්ගෙ කකුල් වල කූඩැල්ලො එල්ලිලා….. උන්ව ගලවල දැම්මම ලේ යනව නවත්ගන්න බෑ…
ඒ විතරක්ද.... මහ වැස්සෙ ලිස්ස ලිස්ස කඳු නැගල ආපහු බැහැල බස් එකට යනකොට හොඳ ගනන් හෙහ්හෙහ්…..
ඊට පස්සෙ කොල පුච්චල ඒවගෙ අළු තුවාල වලට දාල තමයි ලේ යන එක නවත්ත ගත්තේ….හික් හික්…..
පුලුවන් වුනොත් ඒ ගැන වෙනම ලිපියක් ලියන්න ඕන……


ඊට පස්සෙ තමයි Academic කොටස ආරම්භ වෙන්නෙ....
ඔන්න එතකොට තමයි ඇත්තටම කැම්පස් එකේ වැඩ කොහොමද කියන එක ඇඟට දැනෙන්න පටන් ගත්තේ..
මාස තුනක් විතර පුලුවන් තරම් විනෝද වෙලා පාඩම් කරනව කියන එකවත් මතක නැතුව ඉන්නකොට තමයි Academic පටන් ගත්තේ.. ඊට පස්සෙ ඉතින් දිගටම වැඩ වැඩ වැඩ…
කොහොමත් තමන් කැමති ෆීල්ඩ් එකට යන්න ආසාව තිබුනු නිසාම කවුරුත් සෑහෙන මහන්සි වෙලා වැඩ කලා…
පලවෙනි semester එකේ 100 වෙනියා..
දෙවෙනි semester එකෙත් විභාගේ ලිව්වට පස්සෙ අවසානයේ බලනකොට මුලු batch එකෙන්ම 117 වෙනියා… යන්නම කියල විශේෂ ආසාවක් නොතිබුනත් යන්තම් electronics වලට යන්න තරම් මං වාසනාවන්ත වුනා..
ඒක තමයි පලවෙනි අවුරුද්දෙදි මං ලබපු වටිනාම තෑග්ග …


ආහ් කියන්න අමතක වුනානේ පලවෙනි අවුරුද්ද අතර වාරයේදි තමයි කැම්පස් එක ඇතුලේ පලවෙනි නිවේදන කටයුත්තට දායක වෙන්න අවස්ථාව ලැබුනේ….ඒ එරබදු යායේ වසන්තය අවුරුදු බක්මහ උළෙල….
උඩ Batch එකේ අයියල සංවිධානය කරපු ඒ උත්සවයේදි තමයි හා හා පුරා කියල මගේ නිවේදන හැකියාවන් පෙන්වන්නත් පුලුවන් වුනේ….
ඊට අමතරව තව ඔය පොඩි පොඩි උත්සව කිහිපයකටත් නිවේදන වලින් දායක වෙන්නත් අවස්ථාව ලැබුන….
ඒ වගේම තමයි කැම්පස් එකේ පලවෙනි මඟුල් ගෙදර ගත්තෙත් අපේ බෝඩිමෙන්.........
මෙච්චර කාලෙකට කැම්පස් එකේ අපේ batch එකෙන් ගත්තු මුල්ම සහ අවසාන මඟුල් ගෙදර….
අපේ බෝඩිමේ යලුවෙක් හා හා පුරා කියල ගොඩ ගිය වෙලාවේ තමයි නැකතට වැඩේ සිද්ධ වුනේ...
සෑහෙන්න ප්ලෑන් කරල එහෙම වැඩේ කලේ… පෝස්ටර් ගහල.. මගුල් පෝරුවක් හදල.... නැකත් බලල... කැම්පස් එකේ boat yard එකේදියි වැඩේ පැවැත්වුනේ…
ඒකත් කැම්පස් ලයිෆ් එකේ තවත් එක් අමතක නොවන මතකයක්…..


ඇකට බරටම බර දීපු පලවෙනි අවුරුද්ද ගතවෙලා යනකොට අපි Academic වලින් පලවෙනි අවුරුද්දයි දෙවෙනි අවුරුද්දයි අතරෙ හිටියේ.. හෙහෙහේ
ඒ June term කියල term එකක… ඒකෙදි අපිට එක එක project කරල අදහස් විදියට පෙන්නන තිබුනා….
ඊට පස්සෙ අපිව අපේ සිහින ෆීල්ඩ්ස් වලට යොමු කලා …
ඊට පස්සෙ ඔය අතරෙදි අපේ පොඩි batch එක කැම්පස් එකට ඇතුල්වුනා..
ඒකෙ උත්සවේදිත් සුපුරුදු පරිදි නිවේදනයෙන් දායක් වෙන්න අවස්ථාව ලැබුන ….


පලවෙනි අවුරුද්ද හොඳටම බර දීල දීල වැඩ කලාට පස්සෙ කවුරුත් හිතාගෙන හිටියේ වැඩිය බරක් නම් දැනෙන එකක් නෑ කියල… Aca preassure එක අඩු වුනාට ඉහටත් උඩින් වැඩ කන්දරාවක් ගොඩ ගැහෙනව කියල සතියක් යන්නත් කලින් අපිට තෙරුනා… හික් හික්…
ඒ වුනත් Department එකේ නොයෙකුත් බාහිර වැඩ සෙට් වෙනකොට නම් කවුරුත් ඇක පැත්තකට දාල එක වගේ වැඩ කලා… ඒකට හොඳම උදාහරණය තමයි.. අපේ department එකෙන් කරපු EXPOSE exhibition එක…
ඒකෙ Radio එක සම්පූර්ණයෙන්ම භාර වුනේ මට…
ඒකත් එක්තරා ආකරයකට සිහිනයක් හැබෑ වීමක් වගේ ....… වැඩේ නම් හොඳටම කෙරුනා..


ඊට පස්සෙ යාත්‍රා කියල කැම්පස් එකේ ශාස්ත්‍රීය සංගීත සංසදය මගින් කරන සංගීත කර්තව්‍යයන් වලදි වගේම..
නොයෙකුත් බාහිර උත්සව වලදිත් නිවේදනය කිරීමේ වගකීම බොහෝ අවස්ථා වලදි මගේ කර පිටට වැටුනා… කීයද කියල හරියටම මතක නැති වුනත් අඩුම ගානේ නිවේදන කටයුත්තෙන් උත්සව 25කට වත් දායක වෙන්න මේ අවුරුදු දෙකේදි අවස්ථාව ලැබෙන්න ඇති…..


මේ හැමදේකටම වඩා මට නම් වටින්නෙ... මේ අවුරුදු දෙක ඇතුලතදි ලංකාවේ නොගිය තැනක් නැති තරමට සංචාරය කරන්න ලැබුනු එක..
නුවර, අනුරාධපුරය, මීගමුව, කුරුණෑගල, මාතර, හම්බන්තොට, බදුල්ල, රත්නපුරය, මන්නාරම, මඩු, ත්‍රිකුණාමලය, ගම්පහ, නුවර එලිය....
මේ වගේ හුගක් තැන් වල යන්න ලැබුනා… හරියට නිකන් ලංකාවම කවර් කලා වගේ…..


එක semester එකක් ගෙවිල දැන් ඉන්නෙ දෙවෙනි අවුරුද්දෙ දෙවෙනි semester එකේ අන්තිම හරියෙ…….. හැබයි කැම්පස් එකට මුලින්ම පය තියල අවුරුදු දෙකක් ගෙවිල ගිහිල්ල ඉවරයි…
ජීවිතේ ගෙවිල ගිය වෙන අවුරුදු වලට වඩා මේ අවුරුදු දෙක හුගක් වෙනස් අවුරුදු දෙකක්..
තේරෙන බාසාවෙන් කියනවනම් හුඟක් Happening අවුරුදු දෙකක්…
මේ අවුරුදු දෙක ඇතුලෙ ගොනු වෙලා තිබුනෙ සතුට විතරක් නෙමෙයි.. දුකත් මදි නොකියන්න තිබුනා.. හෙහෙහේ..

කැම්පස් එකටම පොදු දෙයක් වුනු ආදරේ ගැන කතා නොකලොත් ඒකත් අඩුවක් වේවි... සරසවි ප්‍රේමයෙන් සමහරු ඉහලින්ම ජය ගනිද්දි තවත් සමහරු පරාද වුන හැටි.. තවත් සමහරු මුලදි ජයගෙන පස්සෙ පරාද වුන හැටි..
තවත් අය මුලින් පරාද වෙලා පස්සෙ තමන්ගෙ ආදරය හොයාගත්ත හැටි…....
තවත් අය තාමත් බලපොරොත්තු තියගෙන ඉන්න හැටි.. වටේ පිටේ ඉන්න හුග දෙනෙක් බලන් හිටියා..
ඒව තම තමන්ගේ ජීවිත වල මතක හිටින පාඩම් බවට පත් කරගන්නත් සමහරු අමතක කලේ නෑ...
සමහර අය දුක් වෙන කොට තවත් අය සතුටු වෙනවා…
සමහරු ගැන හොඳ එක පැත්තකින් ඇහෙනකොට.. අනිත් පැත්තෙන් තවත් කෙනෙකුට බනින බැනුම්....
එක එක ප්‍රශ්න ඒවට එක එක විසඳුම්.....
මේ හැම දෙයක්ම මැද්දෙ මට නම් ගෙවිල ගිය මේ අවුරුදු දෙක දිහා බලනකොට දැනෙන්නේ අටලෝ දහම ගොනු වෙලා තිබුනු අවුරුදු දෙකක් ගෙවිල ගියා වගේ…..


ආහ් අලුත් නංගිල මල්ලිල..... අපේ පොඩිම batch එක කැම්පස් එකට ආව 29 වෙනිදා.. ඒ කියන්නෙ අපේ super junior batch එක…
මේ දවස් වල කට්ටියම පෝලිමට තමයි ගමන….. ඒව දකින කොට අපේ අයටත් අපි එහෙම ගිය හැටි මතක් නොවුනොත් තමයි පුදුමේ ………….


හ්ම්ම්ම් out වෙන්න තියෙන්නෙ 2012..... ඒ කියන්නෙ ආව වගේම ගමනක් යන්න තියනව... තවත් අවුරුදු දෙකක්.. ආ මග කෙටියි යා යුතු මග දුරයි කියලනේ කතාවට කියන්නේ...
ඒ නිසා නිරතුරු නුවණැසින් ඉතිරි අවුරුදු දෙකත් තරණය කරන්න තමයි බලපොරොත්තුව…..
බලමු කොහොම වෙයිද කියල…..
කොහොම වුනත් ඉතිරි අවුරුදු දෙක නම් Academic වැඩ බර වැඩි වෙනවනේ…...
ඒ නිසා වැඩිය බාහිර වැඩ වල එහෙම යෙදෙන එකක් නෑ.....
හැබැයි.....
කොච්චර වැඩ තිබුනත්....... කොච්චර Academic වැඩ loss වුනත්.......
GPA එක මොන තරම් පහලට වැටුනත්......
අපේ හුගක් අය..... ඒ සේරම අස්සෙත්..... ජීවිතේ විඳින්න මතකයන් එකතු කරන එක නම්.....
කොහෙත්වම නතර කරන එකක් නෑ කියලයි අවසානයට මට කියන්න ඉතුරු වෙන්නේ…



2010-04-21

ඔහේ ගතවුනු අපේ නිවාඩුව.........


කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තට ආවමයි දැක්කේ අන්තිම පෝස්ට් එක දාල තියෙන්නෙ ගිය මාසෙ කියල…..
ඒ නිසා මං හිතුව අපේ කැම්පස් නිවාඩුවත් ඉවර වෙන්න යන එකේ නිවාඩු කාලේ මට වෙච්ච දේවල් ගැන කිව්වොත් හොඳයි කියල…..

ආහ් ඒ සේරටම කලින් .....
ලැබුවා වූ මේ අළුත් අවුරුද්ද හැමෝටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබ නව වසරක් වේවා කියල ප්‍රාර්ථනා කොරනව...
හරි එහෙනම් කතාව පටන්ගමු...
මේ පාර අපිට ලැබුනෙ එසේ මෙසේ නිවාඩුවක් නම් නෙවෙයි... කෙලින්ම මාස තුනක නිවාඩුවක්…
හැබැයි ඉතින් වැඩේ කියන්නේ මුලු කැම්පස් ජීවිතයටම ලැබෙන එකම දිග නිවාඩුව මේක විතරයි…
අනිත් හැම නිවාඩුවක්ම දවස් දෙකේ තුනේ ඒවා… වැඩිම වුනොත් සතියක් ලැබෙයි….
කොහොමහරි ඒ නිසාම මේ මාස තුන ෆුල් ෆන් එකේ ගත කරන්න තමයි අපි හිතාගත්තේ…
නිවාඩුව පටන්ගත්තු දවසේ ඒ කියන්නෙ විභාගේ ඉවර වුනු දවසේ වතුර පාරක් එහෙම ගහගෙන බෝඩිමේ පුංචි පහේ පාටියක් එහෙම දාලා.....
අපි නිවෙස් බලා සංක්‍රමණය වුනා…

හා හා පුරා කියල ජනවාරි 26 වෙනිදා මුලින්ම සෙට් වුනේ ජනාධිපතිවරණය හික් හික්….
අපි ඉතින් N8 ගහන්නම ඉපදුනු අය නිසා අපේ යාලුවෙක්ගෙ ගෙදරට සෙට් වෙලා ජනාධිපතිවරණය දවසෙ රෑ ගතකලා… එදා නම් යාලුවගෙ අම්ම හදල දීපු අනං මනං කකා මායි තව යාලුවො තුන් දෙනෙකුයි එළි වෙනකන්ම ප්‍රතිඵල ඇහුවා..
කොහොමහරි යාලුවගෙ ගෙදරට අන්තිමට හොඳ දඩයක් එහෙම වැදිල තිබුනා..... හික් හික්
(අවුරුදු 6ටම එක පාරයිනේ… හික් හික් අවුලක් නෑ)

දෙවෙනියට සෙට් වුනේ ජනවාරි අන්තිම සතියේ සිරීපාදේ නගින්න…
ඒක නම් ෆුල් ජොලි කියල හිතෙනව නේ හික් හික් හැබැයි ඉතින් නිකං නෙමෙයි කන්ද නැග්ගේ.....
රත්නපුර පලාබද්දල පාරෙන් වැලි ගෝනි කර ගහගෙන ….
අපේ යුනි එකේ බෞද්ධ සංගමෙන් තමයි වැඩේ සංවිධානය කලේ…
කොහොමද කිලෝ 20ක් විතර බර වැලි ගෝනියක් කරේ තියාගෙන සිරීපාදේ නගින්න ගියාම ඇඟට දැනෙනෙන සනීපේ…හරියටම කියනවන පඩි පන්දාස් ගානක් උඩට අදින්න තිබුන..
මම නම් පඩි 1200කින් විතර වැඩේ අතඇරියා…හික් හික්
ඒ ටික ගෙනිහිල්ලත් මට හොඳ ගනන්… ඊට පස්සෙ ශේප් එකේ නිකන් නැග්ගා.. හික් හික්..
මට මතක හැටියට අපේ ඉන්දරේ අයියත් එදා කන්ද නැගල බහින ගමන් අපේ අයට මුන ගැහුනා කියලා පෝස්ට් එකකින්ම කියල තිබුනේ

තුන්වෙනුවට යන්න ලැබුනේ අනුරාධපුරයට...
ඒ ගමන ගැනනම් මම කලින් පෝස්ට් දෙකකින්ම ලිව්ව නිසා මෙතන මොකවත් ලියන්න යන්නෙ නෑ... අනුරාධපුරෙත් ගිහිල්ල මන්නාරමත් බලලා මඩු දේවස්ථානයත් වැඳගෙන ආපු කතාව.. හික් හික් ඒක ආපහු කියවන්න ඕන නම් මෙතනින් එතනට යන්න පුලුවන්..

ඊට පස්සෙ ආපහු සැරයක් අනුරාධපුරයට යන්න ලැබුනා… ඒත් බෞද්ධ සංගමේ වැඩකට… අභයගිරි ප්‍රතිසංස්කරණ වලට….ඒක නම් පට්ටයි..
අභයගිරි චෛත්‍යය උඩට නැගගෙන අර බාසුන්නැහැලට ගහල තියන පලංචි උඩ ඉඳගෙන උඩට ගඩොල් සහ බදාම පාස් කරන්න තමයි තිබුනේ..
දවස පුරාම හොඳට මහන්සි වෙලා තිසා වැවෙන් එහෙම නාල තමයි වැඩේ අහවර කලේ…
ඒ දවස් දෙක නම් ජීවිත කාලෙටම අමතක වෙන එකක් නෑ….

ඔය සේරටම පස්සෙ තමයි අපේ රොබො තරඟාවලිය තිබුනේ….ඒක අපේ department එකේ වාර්ෂිකව පැවැත්වෙන එකක්…ඒකට රොබො කෙනෙක් හදන්න තිබුනා..
කණ්ඩායමට 10යි හැබැයි ඇත්තටම වැඩේට සෙට් වුනේ 4ක් විතර තමයි..
ඉතිරි අය සුව පහසුවේ ගෙවල් වලට වෙලා ලැබුනු නිවාඩුවේ නිදහස භුක්ති වින්දා.. හික් හික්…
මුලින්ම තරඟෙ තියනව කිව්වෙ පෙබරවාරි මුල් සතියේ… දන්නවනේ ඉතින් මේක ලංකාව කියල…
ඒ නිසා ඔන්න වැඩේ රබර් වෙන්න පටන් ගත්තා…
පලවෙනි සතියෙන් දෙවෙනි සතියට ඊට පස්සෙ තුන්වෙනි සතියට…
ඔහොම ගිහිල්ල කොහොමහරි අන්තිම මාසයක් හමාරක් විතර පරක්කු වෙලා තමයි වැඩේ තිබුනේ…කණ්ඩායමේ 10 දෙනා කව්ද කියල දැන ගත්තෙත් තරඟෙ තිබුනු දවසේ….
ඒකෙත් වැඩේ කියන්නෙ තරඟෙට කලින් දවසෙ වැඩ කරපු රොබා තරඟෙ දවසේ line following විතරයි..
මං හිතන්නෙ අපිට තුන්වෙනි ස්ථානය වගේ ලැබෙන්න ඇති (අනිත් පැත්තෙන්) හික් හික්..
(හෙල්ලුනේවත් නැති රොබෝලත් හිටපු නිසා හික් හික් )

ඔය ගමන් ටික ගිහිල්ල ඉවර වෙනකොට තව ගමන් දෙක තුනක් ම යන්න කියල හිතේ ලොකු පැලෑනක් එහෙම ගහගෙනයි හිටියේ… බදුල්ල, හම්බන්තොට, මාතර වගේම... කාලෙකින් යන්න බැරිවුනු යාලුවන්ගෙ ගෙවල් ටිකකටත් යන්න තමයි හිතාගෙන හිටියේ… හැබැයි වැඩේ හිතපු විදියට කරන්නනම් උනේ නෑ....
මොකද මගේ කකුලේ හදිස්සියෙම මතුවුනු රෝග තත්වයක් මත ශල්‍යකර්මයක් කරන්න වුන නිසා… අප්පා....... ඊට පස්සෙ ඉතින් දිගටම ගෙදර…
දවස් දෙකෙන් දෙකට හොස්පිටල් ගිහින් බේත් දාගෙන එනවා....
ඔය විදියට මුලු මාර්තු මාසේම ගෙදරට ගතවුනා….
සැලසුම් කරගෙන හිටපු කිසිම දෙයක් කරගන්නත් බැරිවුනා.. ගෙදර වැඩක් නැතුව නිකන් ඉන්න ගියාම පිස්සු හැදෙන් නැති ටික විතරයි… ඒ පාර තමයි බ්ලොග් එක ලියන්න පටන් ගත්තේ…
ඒක නම් නැගල ගියා මාර්තු මාසෙට පෝස්ට් 7ක්ම දැම්ම… හික් හික්

ඊට පස්සෙ මාර්තු මාසේ අන්තිමට රුහුණු ඉංජිනේරු පීඨය සංවිධානය කරපු ප්‍රදර්ශනය බලන්න යන්නත් අමතක කලේ නෑ..ඒකෙදි පැවැත්වුනු රොබො තරඟෙන් දිනුවේ අපේ යුනි එකේ උදවිය නිසා පොඩි චියර් පාරක් එහෙම දාන්න කකුලෙ අමාරුව තියාගෙනත් ගියා…. හික් හික්

ඊලඟට ආපහු ඡන්දේ ආවනේ... හික් හික් මෙදා පාර අපේ ගෙදර තමයි කට්ටිය සෙට් වුනේ…. ජනාධිපතිවරණය වගේ අර කික් එකක් නොතිබුනත් අපිනම් හොඳ ෆන් එකක් ගත්තා…
ඔය අතරේ තමයි අනාගතය උදෙසා මම ජාවා පන්තියකට එකකට යන්න පටන් ගත්තේ..
ඕක විතරමයි අධ්‍යාපන කටයුතු වලට කියල කරපු එකම දේ…. ගිය සතියට දවස් තුනයි… හික් හික්

ඔහොම ගිහිල්ල ඔන්න අවුරුද්ද ආව… පුරුදු විදියටම හැමපාරම වගේ මේ පාරත් ආච්චිල සීයල බලල එන්න කියල ඡන්දෙට පස්සෙ දවසෙ ඒ කියන්නෙ 9 වෙනිදා හවස ගම්පහ බලා යන්න අපි පිටත් වුනා..
12 විතර ආපහු එන්න බලාගෙන තමයි යන්න ගියේ…අපි සාමාන්‍යයෙන් ගමේ යන්නේ අවුරුද්දට කලින්…හැබැයි මේ පාර ගිහිල්ල එන්න වුනේ නෑ..
අලුත් අවුරුද්ද ඒ කියන්නේ 14 වෙනිදා මේ පාර ගම්පහ ගත කරන තැනට වැඩේ සිද්ධ වුනා..
මුලු ජීවිත කාලෙටම ගෙදරින් පිට ගත කරපු පළවෙනි අවුරුද්ද…. හික් හික්
වෙන එකක් තියා පස්සෙ දනගත්තු විදියට කසාද බැන්දට පස්සෙ අම්මයි තාත්තයි ගෙදරින් පිට ගත කරපු පළවෙනි අවුරුද්දත් මේකලු….
කොහොම හරි අවුරුද්ද ඉවර වෙලා නෑගම් යන එක එතකොට ආච්චිලට සීයල මුණ ගැහෙන්න යන එක අපිට අමුතුම අත්දැකීමක් වුනා…
මීට කලින් අපි ඕව කරන්නේ අවුරුද්දට කලින් නේ...
ඒ නිසා වෙන්න ඇති…
ආපහු ගාල්ලට ආවේ 16 වෙනිදා හවස් වරුවේ…

හ්ම්………….
පෝස්ට් එක ලියන අද 21 වෙනිදා..........
මේ දවස් ටිකේ ඉතින් යාලුවොත් එක්ක සර්ලගෙ මිස්ලගෙ ගෙවල් වල රවුම් ගැහුවා.........
ඒ අතරේ ගාල්ලෙ 08 බැච් එකෙන් කරපු අවුරුදු උත්සවය බලන්න ගියා ….
ඕව තමයි මේ දවස් ටිකේ කරපු වැඩ..........
දන් ඉතින් 26 වෙනිදට කැම්පස් පටන්ගන්නවා…
ඊට පස්සෙ ඉතින් මාස 6ක් ආපහු එක දිගට වැඩ….
ඔය අතරේ තව මේ වසරේ ඉටු කරගන්න බලපොරොත්තු වෙන පොඩි පොඩි වැඩ ටිකකුත් තියනවා……
ඒව ඉටු කරගන්න අතරේ ඒ ගැනත් කියන්න ආපහු මේ පැත්තට ගොඩ වෙන්නම්කෝ….…….


මගේ අවුරුදු නිවාඩුව ගැන කියන්න දෙයක් එහෙම තියනවනම් ලියලම යන එකයි ඇත්තෙ ආයුබෝවන්ඩ.. හික් හික්

2010-03-30

එරබදු යායේ වසන්තය - 2010 මැවිසුරන්ගේ සූර්ය මංගල්‍යය






























ආහ් කොහොමද ඉතින්..????????

ඔන්න ටික කාලෙකට පස්සෙ ආපහු ආවා බ්ලොග් එක පැත්තේ ……

වෙන මොකවත් ගැන නෙවෙයි අපේ යුනි එකේ තිබුනු අවුරුදු උත්සවය ගැන කියන්න

ඒක නම් කරල තිබුනේ එරබදු යායේ වසන්තය -2010 මැවිසුරන්ගේ සූර්ය මංගල්‍යය කියලා….

ලස්සන නම නේ ??? හික් හික්….

මේක සංවිධානය කලේ ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමය විසින්….

ඔය මැවිසුරන් කියන්නේ ඉංජිනේරුවන්ට කියන හරි සිංහල වචනයනේ

ඒකයි එහෙම නම දැම්මේ…….

උත්සවය පැවත්වුනේ 27 වෙනිදා

කැම්පස් එකේ පොඩි නිදහස් ඉඩ කඩක් තියනවා ඒකට අපි කියන්නේ ලගාන් එක කියලා

ඒකෙ සාමාන්‍යයෙන් වැඩිපුර ඉන්නේ ආදරවන්තයින් හික් හික්

එතන තමයි උත්සවය පැවත්වුනේ…..

යූනියන් එකේ මූලිකත්වයෙන් ලෙවල් 2 සහ ලෙවල් 1 කන්ඩායම් වල සහයෝගීත්වයෙන් තමයි වැඩේ සිද්ධවුනේ................


සති දෙකක විතර ඉඳන් අපි මේකට ලෑස්ති වුනා….

ලගාන් එක තනිකරම ගමක් විදියට හැදුවා..

ඒකට අපේ බැච් එකයි ලෙවල් 1 මල්ලිලා හා නංගිලයි ගොඩක් මහන්සි වුනා කිව්වොත් හරියටම හරි….. ගමගෙදරක්... ගමේ කඩයක්..... එතකොට වී බිස්සක්... තව චෛත්‍යයක්.... ඔන්චිල්ලාවක්.... කමතක්... පාලමක්... මේ හැම දේකින්ම පිරුනු තැනක් තමයි අපි හැදුවේ….

ලී දඬු හිටවලා ඒවට ගෝනි තියලා මැටි ගාලා වහලට පොල් අතු දාල….. හික් හික්

මාරම ෆන්….

ආහ්!!!!!!!!!! කියන්න අමතක වුනානේ ඉස්සරහ ගහපු තොරණ ගැන..... ඒකනම් හුඟක් ලස්සන තොරණක්සෑහෙන මහන්සියක් අරගෙන තිබුනා ඒක හදන්න….

මහන්සිය වගේම උපරිම විනෝදෙකුත් එක්ක තමයි වැඩේ ගියේ..

අන්තිම දවස් දෙක තුන කාටවත් නින්දක් නෑ.... එක දිගට වැඩ….

හැමදාම බෝඩිමට යනකොට පාන්දර 4.00ත් පහු වෙලා..

කොහොම හරි මාර්තු 27 වෙනිදා එළිවෙනකොට එරබදු යාය හැදිල ඉවරයි…..


උදේ 8.30 විතර වෙනකොට වැඩේ ආරම්භ වුනා

පීඨාධිපතිතුමන් සමග ජගත් සර් තමයි ආරාධිතයන් වුනේ…….

පන්සිල් සමාදන් වෙලා කිරි මුට්ටියක් එහෙම උතුරවලා තමයි වැඩේ පටන් ගත්තේ

කොල්ලො සරම් එක්ක කමීස ඇඳගෙන කෙල්ලො ගවුම් ඇඳගෙන තමයි ආවේ….

එතකොට නිකන් ඇත්තම ගම්මානෙක ඉන්නවා වගේ හික් හික්….

ආරච්චිල කෙනෙක්…. ගමරාල කෙනෙක්….. එතකොට ගමමහගේ කෙනෙක්….. එහෙමත් හිටියා.....

වැඩේ ඇත්තටම ගොඩක් හොඳට සිද්ධ වුනා…… අපි හැමෝම ලොකු වින්දනයක් ලැබුව

වෙන එකක් තියා පීඨාධිපතිතුමන් කනා මුට්ටියත් බින්දා….හික් හික්

දවස පුරාම තරඟ සෑහෙන ප්‍රමාණයක් පැවත්වුනා

ගම හරහා දිවීම…. කොට්ට පොර….කබඩි…… ග්‍රීස් ගහ….. කනාමුට්ටි…… අලියට ඇහැ….. බොතලේට වතුර පිරවීම…. බනිස් කෑම…… බැලුන් පිපිරවීම….. බිත්තර ඇල්ලීම…… වගේ මහ ගොඩක් ……………

ඕව කරන අතරවාරයේදි අවුරුදු කෑම මේසයෙන් කිරිබත් කෑල්ලක රහ බලන්නත්…..

දවාලට තම්බපු කොස් සමග පොල්සම්බෝලෙක රහ බලන්නත්…..

ඒ වගේම ගමේ කඩෙන් බඩ ඉරිඟු කරලක් කන්නත්….

සරුවත් කෝප්පයක් බොන්නත් අවස්ථාවක් ලැබුනා….


අන්තිමට කොහොම හරි වැඩේ ඉවර වෙනකොට හවස 7.00 විතර වෙලා….

හවස ටිකක් තදට වැහැපු නිසා තරඟ කිහිපයක් අවලංගු කලා….

හැබැයි සමහරුනම් වැස්සෙ තෙමීගෙනත් තරඟ වලට සහභාගී වුනා.... හික් හික්

කොහොම හරි අන්තිමට තරඟ වලින් දිනපු උදවියට තෑගි එහෙම ලබාදීල තමයි වැඩේ අහවර කලේ………

ආහ්!!!! මම මේකෙ කරපු දේ කියන්න අමතක වුනානෙ….

මට නම් කිසිම තරඟෙකට යන්න ලැබුනේ නෑ….

මොකද මමනේ නිවේදන කටයුතු සිදු කලේ (මයික්කරපෝනෙත් ලඟින්ම තියාගෙන ) හික් හික් ……


මොනව වුනත් එදා කරපු හැම දේකින්ම අපි හැමෝම කැම්පස් ලයිෆ් එකේ තවත් එක් ලස්සන මතකයක් අපේ ජීවිත වලට එකතු කර ගත්තා….

ඇත්තටම අපි කැම්පස් එකේ මොනදේ කලත් ආපහු හැරිල බලද්දි අපිට සතුටු වෙන්න පුලුවන් වෙන්නේ අන්තිමට ඉතුරු වෙන ඒ මතකයන් වලින් විතරයි කියන එක නම් එදා දවසෙ අවසානයේදි මට හොඳටම දැනුනා