ආයුබෝවන්

මගේ බ්ලොග් එක ගැන.........
ඔබේ හිතේ තියන දේ.........
හිතේ හැටියට.......................
මගේ මයික්කරපෝනයට කියල යන්න........................

2012-01-01

ENTC 08.....


සිහින බලාපොරොත්තු ප්‍රාර්ථනා අරමුණු මේ හැමදේකින්ම කියවෙන්නේ මිනිස්සු තම තමන්ගේ ජීවිත ලස්සන කරගන්න සාර්ථක කරගන්න වෙර දරන ආකාරය. සිහිනයක් සැබෑ කරගන්න, බලාපොරොත්තුවක් සඵල කරගන්න, ප්‍රාර්ථනාවක් ඉටු වෙනව දකින්න විතරක් නෙමෙයි අරමුණක් ජය ගන්නත් අපි හුඟක් මහන්සි වෙනවා. විවිධ මට්ටම් වලින්. අපේ අම්මල තාත්තලා අපි අපේ පාසල් අධ්‍යාපනය නිමා කරලා සුන්දර සරසවිය කරා පියනගන හීනය දකින්න පටන් ගන්නේ සමහර විට අපි ඉපදුන දවසේ ඉඳලා වෙන්න ඇති. ඒ අතින් ඔබත් මමත් වාසනාවන්තයි. හීනයක් හැබෑ කරපු අය අතරට අපිත් අයිති වෙන නිසා.

කොහොම වුනත් අහිංසක අම්මල තාත්තලගේ හීනය අපි හැබෑ කරනකොට ඒ දිහා බලන් ඉඳලා ඒ අයත් නිරාමිස සතුටක් ලබනව ඇති. ඒක තේරුම් ගන්න වෙන්නේ අපිටත් අම්මලා තාත්තල වෙච්ච කාලෙකට තමයි. හිනා වෙන්න එපා. ඒක තමයි ඇත්ත. මම එහෙම කිව්වේ මම සරසවියට තේරුණු බව කිව්වම අම්මගේ ඇස් දෙකට උනපු කඳුලු බිංදු මට තවමත් මතක නිසා. ඒ සතුටක තියන වටිනාකම තාමත් අපිට තේරුම් නොයන්නේ ඒ තරම් කැපකිරීම් අපි කරල නැති නිසා වෙන්න ඇති. කොහොම වුනත් අපේ සරසවි ජීවිතය අඳුරු චරිතයන්ගෙන් පිරුණු ජීවිතයක් බවට පත් නොවී සොඳුරු මතකයන් දිග හැරෙන සිවු අවුරුදු නවාතැන්පොලක් බවට කාලයාගේ ඇවෑමෙන් පත් වෙන්නේ අර කලින් කියපු නිරාමිස සතුටක් ජනිත කරවපු පිනෙන්ම කියලයි මට නිතරම හිතෙන්නේ. ඉතින් මේ සිවු අවුරුදු ගමන් මගේදී අතට අහුවෙන අතින් ගිලිහෙන අනේක විධ සොඳුරු මතක මංපෙත් අතරේ ඉංගිරීසි අකුරු හතරකුත් ඒත් එක්කම බැඳෙන ඉලක්කම් දෙකක සුන්දර සිහිනයක් බඳු මතකයක් මම බොහොම ආසාවෙන් වැලඳගන්නා බවත් අතින් ගිලිහෙන්නට ඉඩ නොදෙන බවත් මගේ හිත මට කියනවා.

ENTC 08 කියල කියන්නේ අවුරුද්දක් පුරා මහන්සි වෙලා තමන්ගේ ශක්තිය ධෛර්‍යය අධිෂ්ඨානය කැපවීම එකම අරමුණකට ගොනු කරල ජයගත්තු ඉලක්කයක් කියල කිව්වොත් හරියටම හරි. එහි වටිනාකම වැඩිවෙන්නේ වැඩියෙන්ම ඉල්ලුමක් තිබුනු සමාජය බවට එය පත් වීමත් ඒ නිසාම එයට ඇතුළු වීමට තිබුනු අසීරුතාවය නිසාමයි. 2009 වසරේදි පොසොන් මහේ එක්තරා දවසක මමත් ENTC 08 කණ්ඩායමේ සාමාජිකයෙක් බවට පත් වෙනවා. එකම ක්ෂේත්‍රයක එක විෂය පථයන් තුල වුණත් ඉහළටම යන්න දඟලන පොරකන මිනිස්සු අනූ නවයක් ඉන්න තැනක මෙලෝ හසරක් නැතුව අතරමං වුනා වගේ හැඟීමක් මුලින්ම මට තිබුනේ. නමුත් ඒ දඟලන පොරකන ඉහළටම යන්න වෙර දරන මිනිසුන් අතරේ තිබුනු හෘදයාංගම බව ටිකෙන් ටික ටිකෙන් ටික කාලයාගේ ඇවෑමෙන් දැනෙන්න ගත්තා. දුරස්ථ බව අඩුවෙලා යන බව හැඟෙන්න ගත්තා. කාලය කෙමෙන් කෙමෙන් ගත වෙලා යනවා. විවිධාකාර රසබර මතකයන් දවසින් දවස ENTC ඇතුලේ ඉන්න අපේ ජීවිත වලට එකතු වෙනවා. විශ්ව විද්‍යාලයේදී නැගෙන ප්‍රශ්න ඒවාට ලැබෙන විසදුම් අතරේ ආචාර්ය මණ්ඩලයේ කරුණාවෙන් අපිට ලැබෙන ව්‍යාපෘති පැවරුම් මැද්දේ අපිට දැනෙන්න පීඩනය මහන්සිය දුරු වෙන්නේ මේ විදියට දවසින් දවස එකතු වෙන මතකයන්ගෙන්.

මුල්ම දවසේ උඩ බැච් එකෙන් තිබුනු Department Welcome එකේදී Treasure Hunt කරපු හැටි, එළිමහන් රංග පීඨයේදී නාට්‍ය කරපු හැටි, අසන්ත ඔලුවෙ ගහපු හැටි, කවදාවත් රඟපාන්න නම් පුළුවන්කමක් නැතුව ඇති කියල මම හිතාගෙන හිටපු මෙන්ඩිස් රඟපාපු හැටි, කට්ටියත් එක්කම එකතු වෙලා Expose ගොඩ දාපු හැටි, Front එකේ තොරණ භාතියලා බොහොම ජයට හදපු හැටි, රංග ලක්මාල් සුරංග නිශාද් මාධවලා ඒකට යකඩ බට උස්සපු හැටි, රේඩියෝ එකේ ටීවී එකේ නිවේදන කරපු හැටි, උඩ බැච් එකත් එක්ක වගේම පොඩි බැච් එකත් එක්ක ටී පී එල් ගහපු හැටි, අවුරුදු කෑම මේසයක් හදපු හැටි, පොඩි බැච් එකට වෙල්කම් එක තියපු හැටි මට තාමත් මතක් වෙනවා.

මුල්ම ට්‍රිප් එක සීතල නුවර එලියට ගියපු හැටි, ලෝකාන්තය බලමින් අසන්තගේ රස කතා අසමින් දිනුත්ලා අශේන්ලා අපිට දවලට චිකන් දෙන්න පාර දිගේ කුකුල්ලු අල්ලපු හැටි, මනසින් ඒ දේවල් චිත්‍රණය කරපු හැටි, රෑ ගිනිමැල ගහගෙන ඒ වටේ නට නට සිංදු කියපු හැටි, සුනෙත් කෙටිම පාර හොයපු හැටි පළ්වෙනි චාරිකාවේ සොඳුරු සිහිවටන බවට පත් වෙනවා.

ගිය අවුරුද්දේ මේ වගේ කාලෙක අහම්බෙන් ලැබුනු නිවාඩුවකින් ගනුශ්කත් එක්ක ආරුගම්බේ Tronix Trip 2.0 ගියපු හැටි, අන්තිමට ගමනට කස්ටිය එකතු කරගන්න Gmail එකේ Thread එකක් පිරෙන්න හිටිවන කවි ලියපු හැටි, මිනිස් පුළුටක්වත් නොතිබුනු පානම වෙරලේ වීදුරු ගැටෙන හඬ ඇහුනු හැටි, අනුරුද්ධලා උදේ පාන්දරම සූර්ය දිව්‍ය නමස්කාරය කල හැටි, සරසවි ජීවිතය රසවත් බව තව තවත් කියා දෙනවා.

ඔය අස්සේ චන්දිම, හසිත්, ලක්මාල් එක්ක එකතු වෙලා බැච් ටී ෂර්ට් එක Design කරපු හැටි, Exmo එකෙත් රේඩියෝ කරන්න ගිහිල්ලා ENTC නම වැඩිපුර කියල එවකට හිටපු CS ප්‍රධාන ආචාර්යතුමියගෙන් බැනුම් අහපු හැටි මතක් වෙනකොට හිත කීරි ගැහිල යනවා.

එතකොට Training කාලෙදිත් Tronix trip 3.0 කරගෙන කල්ලඩි වෙරලට ගියපු හැටි, කල්ලඩි වෙරළේ අමු සුදු වැල්ල උඩ දිගාවෙලා මුහුදු හුළං වැදි වැදි අහසේ තියන තරු කැට දිහා බලාගෙන කල්පනා කරපු හැටි, උදේ පාන්දර කල්ලඩි වෙරලේ ඉඳන් ඈත ක්ෂිතිජයෙන් නැගෙන නොඉඳුල් හිරු රැස් පිලිගත්තු හැටි, එන ගමන් බස් එකේදි ගමේ සීයගෙන් කතා අහනව වගේ අසන්තගේ රස කතා අහගෙන ආපු හැටි කොහොම අමතක කරන්නද ?

කට්ටියටම Training Places හොයල දෙන්න Company වලට කතා කර කර Training List ගොඩ දාපු හැටි, Training ඉවර වෙලා Tronix trip 4.0 යාල සෆාරි ගියපු හැටි, අසන්තගේ විකියාගේ සුනෙත්ගේ කතා අහගෙන මුලු රැයක් පලාටුපාන ලුණු ලේවාය ඉදිරිපිට නිදි නැතුව පහන් කල හැටි, ඊලඟ දවසේ කොටි බල බල බලි ඇර ඇර නිදාගත්තු හැටි, පොල්හේනෙන් නාලා ආගන්තුක සත්කාර විඳපු හැටි සදාතනික ස්මරණයන් බවට පත් වෙලා ඉවරයි.

අන්තිමටම E - Nite එක වෙනුවෙන් අපි මහන්සි වුන මේ හැමදෙයක්ම එක දිගට මතකයන් අතරේ රූපණය වෙන්න යන්නේ තත්පර දෙක තුනක් විතරයි. කවදාක හෝ මේ සියලු මතකයන් අතීතයට භාර කරලා සමුඅරගෙන යන්නට සිදුවුනත් මේ මතකයන් නිසාවෙන් නෙත් කෙවෙනි තෙත් වෙන එක වලක්වන්න නම් කිසිවෙකුටවත් පුළුවන්කමක් ලැබෙන එකක් නෑ.

ඇත්ත, අපි අනිත් අයට වඩා GPA එක ඉහළ දාන්න නැත්නම් Out වෙනකොට 1st Class එකක් 2nd Upper එකක් එක්ක Out වෙන්න මහන්සි වෙනවා වෙන්න පුළුවන්. තමන් ආස කරන දෙයක් ලබාගන්න මහන්සි වෙන එකේ වැරද්දක් නෑ නේ. හැබැයි GPA list වල කොහේ කොතනක හිටියත් ENTC එකත් එක්ක බැඳෙන මතකයන් හැමදාමත් අළුත් වේවි. ඒ නිසයි GPA List එකේ අගින් ඉන්න මම E-Nite එක වෙනුවෙන් මේ ලිපිය ලියනකොට, ඒ List මැදින් ඉන්න චන්දිමලා කුමුදිනීලා E-Nite වෙනුවෙන් මනරම් රැඟුම් රඟනකොට, සුනෙත්ලා හසිත්ලා චාමිකලා සමරු පොත හදනකොට, GPA list එකේම ඉහලින්ම ඉන්න අශෝක්ලා රඟ පාන්න එකතු වෙන්නේ.

මේ ගෙවෙන්නේ ENTC ශිෂ්‍යයෙකු විදියට සරසවියේ ගෙවන්න ලැබෙන අන්තිම අවුරුද්ද. අවුරුදු දෙකක්ම අපූරුවට ගලා ගියා වගේ මේ අවුරුද්දත් එකම පවුලක් වගේ ඉන්න ලැබේවි. උදේ පාන්දර CR පොතක් දෙකක් හරහට තනි අතට හිර කරගෙන ටී ෂර්ට් එකයි ඩෙනිම් කලිසමයි ඇඳගෙන ගොඩෙන් බිත්තර රොටියෙනුයි කිරි පැකට් එකෙනුයි උදේ ආහාර වේල පිරිමහගෙනම රූස්ස නුග ගහ යටින් සිසිල විඳගෙන ශාන්ත වූ බුදු රුව දෙස බලාගෙන Electronics and Telecommunication Engineering නම් ඒ විසල් නිවහනට පියනගන විට හිතට දැනෙන්නේ අහංකාර ආඩම්බරයක්. දැන් දැන් නම් ඒ සතුටට යටින් හීනියට ඇල්පෙනෙති තුඩකින් අනිනවා වගේ දුකක් දැනෙන්නෙ මේ සුන්දර ජීවිතයට සමුදෙන්න වෙලා ඉතුරුවෙලා තියන කාලය දවසෙන් දවස ගෙවිල යන නිසයි කියලා බුද්ධියට වැටහුනත් හදවත එය පිළිගන්නට ලෑස්ති නෑ. හදවත නිතරම ඒ සටනින් ජයගන්නේ අවුරුදු ගනණාවක මතකයන්ගේ මිහිර ඇස් දෙකෙන් පිට කරලා. මෙතනින් පස්සේ.... හ්ම්ම්ම්.... අපි ලෝකේ හතරදික් භාගේ විවිධ තැන්වල අපේ ලෝක ගොඩ නගාගනීවි. හැබැයි මේ මතකයන් හැමදාමත් අපිත් එක්කම ජීවත් වේවි. අපිව ජීවත් කරාවි.

සෑහෙන්න ලිව්වා. එහෙනම් ඉතින් මෙතනින් මගේ කතාවට මෙහෙම අවසානයක් තියන්න මට අවසර. මගේ සහෘදයෙක් වුනු බදුල්ලෙන් ආපු ආබිඩ් පහුගිය දවසක ENTC 08 FB group එකට මෙහෙම කවියක් ලිව්වා. මගේ මුලු කතාවම ඒ කවියේ තියනවා කියල වෙලාවකට මට හිතෙනවා.


මුල් වසරේ ඒ, බී, සී, කුමක වුවත්
ට්‍රේනින් ගියේ මොන කොම්පැනියක වූවත්
ආවේ ගමින් සිදාදියෙන් දුරින් වූවත්
ට්‍රොනික් අට නම් එක පවුලකි කුමක් වුවත්

ඒ නිසයි INexsus 2009 රොබෝ තරඟය හම්බන්තොට චානක ගාල්ලේ විශ්වත් එක්ක දිනනකොට උඩට එසවුනු අත් වලින් නැඟුනු අත්පුඩි හඬ, INexsus 2010 සහ INexsus 2011 කොළඹ අනුරුද්ධ කුරුණෑගල චානක එක්ක දිනනකොටත්, ඒ විදියටම කිසිම අඩුවකින් තොරව ඇහුනේ. කොහෙන් ආවත් අපි එක පවුලක මිනිස්සු නිසා……..

2011-07-21

යාත්‍රා........ ස්වර්ණවිමානෙන් එහා ලෝකයට.........

යාත්‍රා 2011 සමරු කලාපයෙන් උපුටා ගැනුනි........


ලිපියක් ලියන්න කියල තනුෂාන් මල්ලි කියපු ඉල්ලීම කියා ගන්න බැරි තරම් ආසාවකින් භාර ගත්ත වගේ නෙමෙයි... කොහෙන් කොතැනකින් ලියන්න පටන් ගන්නද කියල හිතා ගන්න බැරුව කොලේකුයි පෑනකුයි එක්ක අතරමං වෙයි කියල මං දැනගෙන හිටියා... මාර වැඩක්නෙ මේක....... දවස් තුනක් තිස්සේ ලියන්න පටන් ගන්න තැනක් හොයනවා... තාමත් හම්බවුනේ නැ... ‍රැට ඇස් දෙකත් පියා ගෙන හදවත නවතින ලියන්න පටන්ගන්න පුළුවන් තැනක් ගැන හිතන්න ගියාම මුලු යාත්‍රා කතාවම ඇස් දෙක ඉස්සරහ පේන්න ගන්නවා.... එතකොට කතාව පටන් ගන්න තැන් හොයන එක පැත්තකින් තියල නිදි දෙව්දුවත් එක්ක මුලු ‍රැය පුරාවටම මං යාත්‍රා බලනවා... රසවිඳිනවා... උදේ නැගිට්ටම තාමත් මං එතනමයි..... ආරම්භයක් නෑ මගේ ලිපියට...

හැබැයි ඉතින් එක අතකට ඒකෙ පුදුම වෙන්න දේකුත් නෑ... යාත්‍රා.. ඒ නම ඇහෙනකොටත් දැනෙන්නේ හිත කීරි ගැහිල යන හරි වෙනස්ම හැඟීමක්... හුඟක් වටින කියන තමන්ගෙම කෙනෙක් ගැන දැනෙනවා වගේ... ඒ ඇයි කියල කියන්න මම දන්නෙ නෑ.... යාත්‍රා කියන්නේ ඒ තරමටම අගක් මුලක් හොයාගන්න බැරි රසයක් වින්දනයක් වෙන් කරන්න බැරි වේදනාවක් සතුටක් කියාගන්න බැරි.... හැම රසයම කලවම් වුනු මහ අමුතුම තැනක්..... හරියට කෙල්ලෙක් වගේ.. ඒවගේ තැනක අගක් මුලක් හොයන එකත් එක අතකට මට හිතෙනවා කෙල්ලෙක්ව තේරුම් ගන්න හදනවා වගේ නිෂ්ඵල වැඩක් කියලා...

මෙයත් එක්ක සම්බන්ධකම් ගොඩ නගා ගන්න හුඟ දෙනෙක් උත්සාහ කලා... ඒ අතරින් තරිඳු සිල්වා එහෙමත් නැත්නම් ආදරේට අපි කියන චූටි අයියා, මගේ සමකාලීනයා සචිත් ඒ වගේ ම තනුෂාන් මල්ලි වුනත් විශේෂයි.... ඒ සබඳතාවයන් කෙතරම් දුර දිග ගියා ද කියනවා නම් ‍රැයට සිහිනයෙන් පවා ඔවුන්ට යාත්‍රා පෙනෙන්නට ගත්තා.... මේ තනුෂාන් ට මේ පාර වෙච්ච වැඩක්

“ඊයෙ රෑ අම්ම ඇවිත් මම නිදා ගෙන ඉන්න කොට අහල තියෙනවා නෙට් එක දා ගෙනත් නෑනේ, මදුරුවෝ කන්නෙ නැද්ද කියල.........
මම අම්මට කියල තියෙනවා තාම මිනිසා සින්දුව practice කරන්නෙ.......ඒක තාම ඉවර නෑ කියල.....
අම්ම දෙවැනි පාරටත් අහල....
එකම උත්තරය තමයි ලැබිල තියෙන්නෙ.... “

ඔය තියෙන්නේ හොඳම උදාහරණ....... ඔවුන් යාත්‍රාවට අතිශය පෙම් බැන්දා... යාත්‍රා සමග අපි ව වෙනස් ම ලෝකවලට ‍රැගෙන ගියා ... වෙනස් ම ආරක සංගීතමය රිද්මයකට අපේ හද සන්තානය ස්පර්ශ කරන්න ඔවුන් ඉඩ හැරියා... සාම්ප්‍රදායික ශාස්ත්‍රීය සීමාවට නතු නොවී එතැනින් ඔබ්බට සරල සංගීතය දේශීය සංගීතය විදේශීය සංගීතය බටහිර සංගීතය යන මේ සංගීත රිද්මයන් තුලත් ශාස්ත්‍රීය භාවයන් ඒ ලෙසින් ම පවතින බවට ඔවුන් පෙන්වා දුන්නා..... 2009 වසර චූටි අයියා..... 2010 සචිත් මගේ සහෝදර මිත්‍රයා........ ඒවගේ ම මේ වසර 2011 තනුෂාන් චරිත් කලිඳු මල්ලිලා........ යාත්‍රා පිරිවරට නොබියව අණ දුන්නා... මට ඔවුන් ව පෙනුණේ ආඥාදායකයන් විදියට... අතිශය සොඳුරු සංගීතමය ආඥාදායකයන් .... සංගීතය කෙතරම් අපූරුවට සරල සොඳුරු සංවේදී මිනිසුන් බිහි කරනවා ද යන කාරණයට ඒ හොඳම නිදසුන්.... ඔවුන් අණ දුන්නේ වෙනස් ම ආරක ගමනකට... සප්ත ස්වරයේ මායිම් සොයා යන්නට.... ඔවුන් යාත්‍රා තරුණියට හද පතුලෙන් ආදරය කලා...

කෝ තාමත් තාමත් බැරි වුනානේ හරිහමන් ආරම්භයක් හොයා ගන්න.... කොහොම හොයන්න ද වෙන වෙන වල්පල් නේ කියවන්නේ මෙතන... ආහ් අනිත් එක... ඔය චූටි අයියා, සචිත්, තනුෂාන්, චරිත්, කලිඳු යාත්‍රාවට තමන්ගෙ පණටත් වඩා ආදරය කලාට මොකද යාත්‍රා වැඩිපුර ආදරය කලේ ආඥාදායකත්වයට වඩා ඒ සොඳුරු ආඥාදායකත්වයට යටත් වූ ඊටත් වඩා සොඳුරු සංවේදී මිනිසුන්ට... ඒකනෙ කිව්වෙ මෙයාව කවදාවත් තේරුම් ගන්න නම් වෙන්නෙ නෑ කියලා...... වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යාත්‍රා කියන්නේ...ඒ සංවේදී මිනිසුන්ගේ නොසැලෙන උත්සාහයක සාමූහික ප්‍රයත්නයක්...... එය ඔබ සාමාන්‍යයෙන් දකින විඳින සාම්ප්‍රදායික ශාස්ත්‍රීය සංගීත කර්තව්‍යකට වඩා පළල් සිතීමක්... මෙය තුල ඔබ දකින්නේ විඳින්නේ සංගීතය වුනාට ඇත්තටම යාත්‍රා කියන්නේ ඔබේත් මගේත් සරසවි කතාව කියල කිව්වොත් මා නිවැරදියි... ‍රැයක් දවාලක් තැනක් නොතැනක් හරි හැටි කැමක් බීමක් නින්දක් නැතිව යාත්‍රා වෙනුවෙන් ඒ සංවේදී මිනිසුන් හෙළූ අපමණ වූ දහදිය කඳුළු උදෙසා නියම වටිනාකමක් ලබා දෙමින් ඔබට ඔවුන්ගේ දක්ෂතා පෙන්වා දෙන්න වේදිකාවක් බවට පත් වෙන්නට තරම් යාත්‍රා කාරුණික වුනා... ඔවුන්ගේ මියුරු ස්වර රටා ඔවුන්ගේ සුමියුරු ගී වැල් මේ නිදහස් වාතලයට මුසු කරන්න ඒවාට ජීවයක් දෙන්න ඇයට පුළුවන් වුනා... අපට සිතාගන්නටවත් බැරි අති දක්ෂයින් පිරිසක් වයලීන ගිටාර තබ්ලා බටනළා අතැතිව ඔබ ඉදිරියේ සිටින බව ඇය මේ මොහොතේ මුළු මහත් සරසවි බිමට ම සඵත කරමිනුයි සිටින්නේ....... ඒ ඔවුන් වයන්නේ හුදෙක් සංගීත භාණ්ඩයක් නොවේයි....... ඔබට ඔය ඇහෙන්නෙ සරසවිය තුල සමාජීය වගකීමක් ඉ‍ටුවෙන ආකාරය...එහි දෝංකාරය.... වයලීනයක ගිටාරයක තබ්ලාවක හඬකට වඩා වැඩි යමක් ඔබට ඔවුන්ගේ වාදනයන් තුලින් ඇසෙන්නේ එබැවින්....... සොඳුරු සරසවි බිම තුල මනුශ්‍යයත්වය අමතක වී ගිය මොහොතක යන්තර සහ මිනිසුන් අතර ඇති වෙනස මනාව වටහා දෙමින් රසවින්දනයෙන් හෙබි මිනිසුන් මේ භූමිය තුල තවමත් ජීවත් සිටින බව ඇය පසක් කලා.. කටුක කටෝර කර්කෂක වුන විෂය පථයන් එක්ක හැප්පෙන පෙළෙන ඒ මත්තේ නැහෙන අපට අපේ ජීවිත වලට අමා වස්සානයක් බවට පත් වෙන්නට යාත්‍රා සමත් වුනා.......

ඇයි එහෙනම් ඇය වෙනත් අයට වඩා වෙනස් වෙන්නේ.... ඇයට තිබෙන්නේ බොහොම දැකුම්කලු රූපයක්.... එයට ඕන කෙනෙකුගේ නෙතත් සිතත් වශී වෙන එක වලක්වන්නට කාටවත් බැහැ.... .. ඇයගේ කටහඬ තුල ඇති මධුර බව මට ගෙන එන්නේ අපූර්වතම මිහිරියාවක්.... ඇයට ඇත්තේ මෘදු හදවතක්... ඇය ඒ හදවතින් හැම දෙනාගේ ම සිත් සතන් නිවා සනහා ලනවා................ නමුත්...... මේ සියල්ල ම මැද්දේ මං ඇයට ආදරය කරන්නේ එක්තරා සුවිශේෂී හේතුවක් හින්දා...

ඔබ දන්නවද මේ විදියට කතාවක අගක් මුලක් ගලපන්න බැරි මම ..... කොහොමද යාත්‍රා එක්ක සම්බන්ධ වෙන්නේ කියලා.... ඒක මට විතරක් නෙමෙයි තවත් හතර පස් දෙනෙකුට වත් පොදු කතාවක් වේවි...... යාත්‍රා ඔබේ නෙත් මානයේ විකසිත කිරීමට දර දිය අදින්නේ ශාස්ත්‍රීය සංගීත සංසදය.... ඒ සංසදයේ සිටින්නේ හුදෙක් සංගීතමය හැකියාවන්ගෙන් යුක්ත පිරිසක් බව ඔබ සිතනවා වෙන්නට පුළුවන්...... ඔව් ඔබ හරි.... බහුතරයක ගේ කතාව එයයි.. නමුත් ඊටත් වඩා හාත්පසින්ම වෙනස්ම පිරිසක් යාත්‍රා සමඟ බැඳී සිටිනවා.... ඔවුන්ගේ සංගීතමය හැකියාවන් සමන්විත වෙන්නේ ගායනයෙන් වාදනයෙන් හෝ නර්තනයෙන් නම් නොවෙයි.... ඔවුන්ගේ ක්ෂේත්‍රයන් තුල හිඳිමින් ඔවුන් සංගීතය උදෙසා සංගීතමය භාවයන් උද්දීපනය කරනවා..... ඔබ අද යාත්‍රා පසුබිමේ දකින සිතුවම නිර්මාණය වුනු පෑනෙන් පින්සලෙන් වගේම....... මුල ඉඳල අගටම යාත්‍රාව වචනයෙන් මෙහෙයවපු මයික්කරපෝනයෙන්..... අපූර්ව ආකරයේ නාද රටාවන් ගෙන එන ධ්වනියෙන්...... ශ්‍රව්‍ය සංකලනයෙන්..... දෘශ්‍ය සංකලනයෙන් පමණක් නොවෙයි.... සම්පත් දායකයන් ලෙස අමිල වූ අදහස් දක්වමින් යාත්‍රාවේ රසාස්වාදය උදෙසා මෙහෙයවුනු චින්තනය තුලිනුත් ඒ වාදකයන් නොවන ගායකයන් නොවන සරල මිනිසුන් සංගීතය වෙනුවෙන් හැඟීම් ජනිත කරන්නට සමත් වෙනවා..... ඒ නිසා හිතන්න එපා ඔබ දකින සුන්දර පසුතල නිර්මාණය කරන්නේ ඒ වගේම වදන් හරඹ වල යෙදෙමින් නිවේදනයක යෙදෙන්නේ ධ්වනිතාර්තයන් ඔබට ජනිත කරන්නේ... යාත්‍රිකයින්ට හැකියාවේ වේදිකාව නිර්මාණය කරන්නේ.... කෙටියෙන්ම කියනවානම් යාත්‍රා වල යටි බිම් ස්ථරය බවට පත් වෙන්නේ.. වෙනත් තැන් වල වගේ කුලියට එන පිරිසක් යැයි කියා... ඒ සියළුම දේ සිදුවන්නේ යාත්‍රා පිරිවර විසින්මයි...... ඔවුන් වේදිකාව මතු පිටට පැමිණියේ නැතත් ඔවුනුත් යාත්‍රාවට පෙම් බැඳි මිනිසුන්...... එයයි සුන්දරත්වය..... විවිධාකාර හැකියාවන්ගෙන් සමන්විත වන විවිධාකාර මති මතාන්තර දරන සමහර විටක සංගීතය පිළිබඳව කිසිඳු සෛද්ධාන්තික පදනමක් නැති මිනිසුන් පවා යාත්‍රාවෙහි කොටස් කාරයන් වුනා... ඔවුන් යාත්‍රා ඔවුන්ගේ ජීවිතය බවට පත් කර ගත්තා... මාත් ඒ මිනිසුන්ගෙන් කෙනෙක් බව මම කියන්නෙ බොහොම නිහතමානීව..... ඒක ඔබට සිතාගන්නටවත් පුළුවන් ද.... තාලයක් ස්වර ස්ථානයක් අලංකාරයක් පිළිබඳව කිසිදු හැඟීමක් නැති නමුත් සංගීතය දැනෙන තමන් කරන දෙය තුල සංගීතය සොයන ඒවාට වෙනස් ම අර්ථ කථන දෙන කෙනෙක් යාත්‍රා තමන්ගේ ජීවිතය වගේ කියන එක...

අම්මෝ මේක තමයි කියන්න අමාරු ම ටික... ඒ නිසා යාත්‍රා කියන්නේ.... ඇත්තටම අපිට අපේ ජීවිතය වගේ...... අපි හරි වාසනාවන්තයි යාත්‍රා සමඟ යාත්‍රා කරන්නට ලැබීම ගැන.... තරිඳු අයියේ... සචිත්..... රංග..... මධුර... උඹලට බොහොම පින් අපිව යාත්‍රා හි කොටස්කාරයන් කරගත්තට..... සරසවි ජීවිතයේ අමතක නොවන මතකයක් මතක පොතේ ගෙත්තම් කරන්න ඉඩ හසර වෙන් කලාට.. අපිටත් අපිට පුළුවන් සංගීතය අපිට පුළුවන් විදියට අපේ භාසාවෙන් ඉදිරිපත් කරන්න අවස්ථාව ලබාදුන්නට.... තනුෂාන්..... චරිත්.... කලිඳු..... සංඛ...... උඹලට බොහොම පින් මුන් මොනවද සංගීතේ ගැන දන්නෙ කියන ඇහෙන් අපි දිහා කවදාවත් නොබැලුවාට..... අපි කියන දේවල් වලට ඇහුම්කන් දුන්නට...... අපෙන් අදහස් විමසුවාට... අන්තිමට ගීත පෙළගැස්ම පවා කොහොම වෙන්න ඕනද කියල මගෙන් අහන කොට ඇස් දෙකට ආපු කඳුළු හංග ගන්න දරපු මහන්සිය දන්නෙ මං විතරයි.... සංගීතය ආගමක් කරගත්තු උඹලා ඇයි අපෙන් මේ විදියට අදහස් ගන්නේ.. උඹලට මේ විදියට අදහස් දෙන්න අපිට තියන සුදුසුකම් මොනවද කියල මට හිතුන වාර අනන්තයි අප්‍රමාණයි..... සමහරවිට එහෙම අහන්නේ අපිත් යාත්‍රා ඇතුලේ ජීවත් වුනු බව යාත්‍රා අපෙත් ජීවිතය වුන බව උඹලා විශ්වාස කරන නිසා වෙන්නැති ..... ඒ විශ්වාසයට අපි උඹලා හැමෝටම හැමදාමත් ගෞරව කරාවි....

හිතවතුනි අගක් මුලක් නැති හිතේ තිබුනු දෙයක් ඔහේ කියවුනු කතාවක අවසානයට මං ටිකෙන් ටික ලං වෙනවා.... මගේ කතාව එහෙම වුනාට ඇයගේ කතාව එහෙම නොවන බව ඔබට දැනටමත් තනුෂාන් සංඛ කලිඳු සචිත් චරිත් ඇතුළු පිරිවර පසක් කර ඇති බව නො අනුමානයි.....යාත්‍රා 2011 තුන් වෙනි පරම්පරාවත් මේ වෙනකොට ඔබේ නෙත් මානයේ විකසිත වී හමාරයි.....ගිය වසරේ යාත්‍රා 2010 අවසන් වෙනකොට හද පත්ලේ නිදන් වුනු ඒ පුංචි බලාපොරොත්තුවට, සොඳුරු සිහිනයට ඊලඟ පරම්පරාව ජීවිතය දුන්නේ එහෙමයි.... ඒ දිහා දකිනකොට මට ආපහු අතීතයට යන්න හිතෙනවා..... අපිට යාත්‍රා 2009..... යාත්‍රා 2010..... ජීවිතය වුනු හැටි..... යාත්‍රිකයින් රෑ නිදිමරාගෙන පුහුණුවීම් කරපු හැටි.. මම ඒ දිහා කන්න වගේ බලන් හිටපු හැටි.... මලිත්ගේ චතුරගේ කෙලින්ගේ පින්සල් පාරවල් වලින් යාත්‍රා වර්ණවත් කරපු හැටි...... පියුම්ගේ පුන්සිරුගේ තාක්ෂණික සහයෙන් යාත්‍රා ගොඩනැංවුනු හැටි...... ඒ විතරක් නෙවෙයි... තනුෂාන් ගේ ඇඟිලි තුඩු මතින් වැයෙන පියානෝවෙන් චරිත්ගේ අත්ලෙන් කම්පනය වන තබ්ලාවෙන් කලිඳුගේ සචිත්ගේ මනරම් ගිටාරයෙන් රංගගේ කන් බිහිරි කරවන බෙර හඬින් ධනිකගේ ජූඩ්ගේ සංඛගේ ගායනයෙන් යාත්‍රා පිරුණු හැටි මගේ හිතේ කොනක ඉඳන් මැවිල පේනවා.... ඉදිරියටත් බිහිවෙන හැම පරම්පාරාවක්ම යාත්‍රා උදෙසා තමන්ගේ කාලයෙන් මොහොතක් හෝ වැය කරාවි... ඇයට කරන ආදරය කවදාකවත් අපතේ යන ආදරයක් නොවෙයි... .... ඇය ආපස්සට අපිට කරන්නේ මිල කල නොහැකි ආදරයක්.... ඒ තුලින් අපි ඉගෙනගන්නේ මිල කල නොහැකි පාඩමක්...... අපිට ලැබෙන්නේ මිල කල නොහැකි සහෝදර බැඳීමක්...

.

කතාවට හරි හමන් ආරම්භයක් නොතිබුනාට හොඳ අවසානයක් වත් දෙන්න උත්සාහයක් ගමු.... අවුරුදු තුනක් තිස්සේ යාත්‍රාවත් එක්ක ජීවත් වුනාට ඇයව සියැසින් දැක බලාගන්න වරම වාසනාව හිමි වුනේ මේ වසරේ දී... කාලෙකට පස්සේ සරසවි ජීවිතය තුල ප්‍රේක්ෂකාගාරයේ ඉඳන් මුල් ම වතාවට යාත්‍රා බලන්න අවස්ථාව ලැබුණා.... ඔව් මාත් ඔබත් එක්කම යාත්‍රා සියැසින් දැක බලාගත්තා... විඳ දරාගත්තා.... සොඳුරු මතකයන් ගොන්නක් හදවතට එකතු කර ගත්තා.... ඉතින් හිතල බලන්න....... යාත්‍රා ඒ තරමටම සොඳුරුයි.... ඇයගේ වේදිකාව මත ගයන්න වයන්න රඟන්න පමණක් නොවෙයි... ඇය ගැන දෙයක් කියන්න වුනත් කෙතරම් සුදුසුකම් ගොන්නක් සපුරන්න ඕනද කියල දැන් තේරෙනවා නේද.. ? ඒ නිසා ආරම්භයක් නැති වුනාට අවසානයක් නැති වුනාට තරහ වෙන්න එපා..... යාත්‍රා කියන්නේ හැමෝගෙම ආදරය දිනාගත්තු හැමෝටම එක වගේ ආදරය කරන ලස්සන කෙල්ලෙක්..... එයාව තේරුම් ගන්න යන්න එපා.... ඔබට කවදාවත් තේරුම් ගනන් බැරිවේවි..... නමුත් රසවිඳින්න... තෙරක් නොපෙනෙන තෙක් භාවයන් සන්තර්පනය වන තෙක් රසවිඳින්න.....

මෙන්න..... නිදි දෙව්දුව මාව තනි කරල යන්න හදන්නේ.... හෙට ඉඳන් යාත්‍රා 2011 බලන්න ලෑස්ති වෙන්න කියලයි එයා කියන්නේ.....එහෙනම් අවුරුදු දෙකක් තිස්සේ ජීවත් වුනු තවත් එක සොඳුරු සිහිනයක් වුනු යාත්‍රා එදා නිමා කරපු විදියටම මේ කතාවත් නිමා කරල පියවි ලෝකයට ගොඩ වෙන්න ඉතින් මට අවසර..

ඉස්සරත් දක්ෂයෝ සිටියහ......

සරඹ පෑ සසරෙහි පුරුද්දෙන්......

ඇස් වහක් නැත අදත් එහෙමයි......

හෙටත් මේ තැන් හිස් නොවෙද්දෙන්.....

දොස් කියන අය දොස් කියද්දී ......

පුදන අය බුහුමන් පුදද්දෙන්.......

ගස් වැටෙන විට පැල හැදෙද්දෙන්......

දළු දමද්දෙන් මල් පිපෙද්දෙන්......

යාත්‍රා............... ඔබට............... චිරං ජයතු චිරං ජීව !!!!!!!!!