ආයුබෝවන්

මගේ බ්ලොග් එක ගැන.........
ඔබේ හිතේ තියන දේ.........
හිතේ හැටියට.......................
මගේ මයික්කරපෝනයට කියල යන්න........................

2012-01-01

ENTC 08.....


සිහින බලාපොරොත්තු ප්‍රාර්ථනා අරමුණු මේ හැමදේකින්ම කියවෙන්නේ මිනිස්සු තම තමන්ගේ ජීවිත ලස්සන කරගන්න සාර්ථක කරගන්න වෙර දරන ආකාරය. සිහිනයක් සැබෑ කරගන්න, බලාපොරොත්තුවක් සඵල කරගන්න, ප්‍රාර්ථනාවක් ඉටු වෙනව දකින්න විතරක් නෙමෙයි අරමුණක් ජය ගන්නත් අපි හුඟක් මහන්සි වෙනවා. විවිධ මට්ටම් වලින්. අපේ අම්මල තාත්තලා අපි අපේ පාසල් අධ්‍යාපනය නිමා කරලා සුන්දර සරසවිය කරා පියනගන හීනය දකින්න පටන් ගන්නේ සමහර විට අපි ඉපදුන දවසේ ඉඳලා වෙන්න ඇති. ඒ අතින් ඔබත් මමත් වාසනාවන්තයි. හීනයක් හැබෑ කරපු අය අතරට අපිත් අයිති වෙන නිසා.

කොහොම වුනත් අහිංසක අම්මල තාත්තලගේ හීනය අපි හැබෑ කරනකොට ඒ දිහා බලන් ඉඳලා ඒ අයත් නිරාමිස සතුටක් ලබනව ඇති. ඒක තේරුම් ගන්න වෙන්නේ අපිටත් අම්මලා තාත්තල වෙච්ච කාලෙකට තමයි. හිනා වෙන්න එපා. ඒක තමයි ඇත්ත. මම එහෙම කිව්වේ මම සරසවියට තේරුණු බව කිව්වම අම්මගේ ඇස් දෙකට උනපු කඳුලු බිංදු මට තවමත් මතක නිසා. ඒ සතුටක තියන වටිනාකම තාමත් අපිට තේරුම් නොයන්නේ ඒ තරම් කැපකිරීම් අපි කරල නැති නිසා වෙන්න ඇති. කොහොම වුනත් අපේ සරසවි ජීවිතය අඳුරු චරිතයන්ගෙන් පිරුණු ජීවිතයක් බවට පත් නොවී සොඳුරු මතකයන් දිග හැරෙන සිවු අවුරුදු නවාතැන්පොලක් බවට කාලයාගේ ඇවෑමෙන් පත් වෙන්නේ අර කලින් කියපු නිරාමිස සතුටක් ජනිත කරවපු පිනෙන්ම කියලයි මට නිතරම හිතෙන්නේ. ඉතින් මේ සිවු අවුරුදු ගමන් මගේදී අතට අහුවෙන අතින් ගිලිහෙන අනේක විධ සොඳුරු මතක මංපෙත් අතරේ ඉංගිරීසි අකුරු හතරකුත් ඒත් එක්කම බැඳෙන ඉලක්කම් දෙකක සුන්දර සිහිනයක් බඳු මතකයක් මම බොහොම ආසාවෙන් වැලඳගන්නා බවත් අතින් ගිලිහෙන්නට ඉඩ නොදෙන බවත් මගේ හිත මට කියනවා.

ENTC 08 කියල කියන්නේ අවුරුද්දක් පුරා මහන්සි වෙලා තමන්ගේ ශක්තිය ධෛර්‍යය අධිෂ්ඨානය කැපවීම එකම අරමුණකට ගොනු කරල ජයගත්තු ඉලක්කයක් කියල කිව්වොත් හරියටම හරි. එහි වටිනාකම වැඩිවෙන්නේ වැඩියෙන්ම ඉල්ලුමක් තිබුනු සමාජය බවට එය පත් වීමත් ඒ නිසාම එයට ඇතුළු වීමට තිබුනු අසීරුතාවය නිසාමයි. 2009 වසරේදි පොසොන් මහේ එක්තරා දවසක මමත් ENTC 08 කණ්ඩායමේ සාමාජිකයෙක් බවට පත් වෙනවා. එකම ක්ෂේත්‍රයක එක විෂය පථයන් තුල වුණත් ඉහළටම යන්න දඟලන පොරකන මිනිස්සු අනූ නවයක් ඉන්න තැනක මෙලෝ හසරක් නැතුව අතරමං වුනා වගේ හැඟීමක් මුලින්ම මට තිබුනේ. නමුත් ඒ දඟලන පොරකන ඉහළටම යන්න වෙර දරන මිනිසුන් අතරේ තිබුනු හෘදයාංගම බව ටිකෙන් ටික ටිකෙන් ටික කාලයාගේ ඇවෑමෙන් දැනෙන්න ගත්තා. දුරස්ථ බව අඩුවෙලා යන බව හැඟෙන්න ගත්තා. කාලය කෙමෙන් කෙමෙන් ගත වෙලා යනවා. විවිධාකාර රසබර මතකයන් දවසින් දවස ENTC ඇතුලේ ඉන්න අපේ ජීවිත වලට එකතු වෙනවා. විශ්ව විද්‍යාලයේදී නැගෙන ප්‍රශ්න ඒවාට ලැබෙන විසදුම් අතරේ ආචාර්ය මණ්ඩලයේ කරුණාවෙන් අපිට ලැබෙන ව්‍යාපෘති පැවරුම් මැද්දේ අපිට දැනෙන්න පීඩනය මහන්සිය දුරු වෙන්නේ මේ විදියට දවසින් දවස එකතු වෙන මතකයන්ගෙන්.

මුල්ම දවසේ උඩ බැච් එකෙන් තිබුනු Department Welcome එකේදී Treasure Hunt කරපු හැටි, එළිමහන් රංග පීඨයේදී නාට්‍ය කරපු හැටි, අසන්ත ඔලුවෙ ගහපු හැටි, කවදාවත් රඟපාන්න නම් පුළුවන්කමක් නැතුව ඇති කියල මම හිතාගෙන හිටපු මෙන්ඩිස් රඟපාපු හැටි, කට්ටියත් එක්කම එකතු වෙලා Expose ගොඩ දාපු හැටි, Front එකේ තොරණ භාතියලා බොහොම ජයට හදපු හැටි, රංග ලක්මාල් සුරංග නිශාද් මාධවලා ඒකට යකඩ බට උස්සපු හැටි, රේඩියෝ එකේ ටීවී එකේ නිවේදන කරපු හැටි, උඩ බැච් එකත් එක්ක වගේම පොඩි බැච් එකත් එක්ක ටී පී එල් ගහපු හැටි, අවුරුදු කෑම මේසයක් හදපු හැටි, පොඩි බැච් එකට වෙල්කම් එක තියපු හැටි මට තාමත් මතක් වෙනවා.

මුල්ම ට්‍රිප් එක සීතල නුවර එලියට ගියපු හැටි, ලෝකාන්තය බලමින් අසන්තගේ රස කතා අසමින් දිනුත්ලා අශේන්ලා අපිට දවලට චිකන් දෙන්න පාර දිගේ කුකුල්ලු අල්ලපු හැටි, මනසින් ඒ දේවල් චිත්‍රණය කරපු හැටි, රෑ ගිනිමැල ගහගෙන ඒ වටේ නට නට සිංදු කියපු හැටි, සුනෙත් කෙටිම පාර හොයපු හැටි පළ්වෙනි චාරිකාවේ සොඳුරු සිහිවටන බවට පත් වෙනවා.

ගිය අවුරුද්දේ මේ වගේ කාලෙක අහම්බෙන් ලැබුනු නිවාඩුවකින් ගනුශ්කත් එක්ක ආරුගම්බේ Tronix Trip 2.0 ගියපු හැටි, අන්තිමට ගමනට කස්ටිය එකතු කරගන්න Gmail එකේ Thread එකක් පිරෙන්න හිටිවන කවි ලියපු හැටි, මිනිස් පුළුටක්වත් නොතිබුනු පානම වෙරලේ වීදුරු ගැටෙන හඬ ඇහුනු හැටි, අනුරුද්ධලා උදේ පාන්දරම සූර්ය දිව්‍ය නමස්කාරය කල හැටි, සරසවි ජීවිතය රසවත් බව තව තවත් කියා දෙනවා.

ඔය අස්සේ චන්දිම, හසිත්, ලක්මාල් එක්ක එකතු වෙලා බැච් ටී ෂර්ට් එක Design කරපු හැටි, Exmo එකෙත් රේඩියෝ කරන්න ගිහිල්ලා ENTC නම වැඩිපුර කියල එවකට හිටපු CS ප්‍රධාන ආචාර්යතුමියගෙන් බැනුම් අහපු හැටි මතක් වෙනකොට හිත කීරි ගැහිල යනවා.

එතකොට Training කාලෙදිත් Tronix trip 3.0 කරගෙන කල්ලඩි වෙරලට ගියපු හැටි, කල්ලඩි වෙරළේ අමු සුදු වැල්ල උඩ දිගාවෙලා මුහුදු හුළං වැදි වැදි අහසේ තියන තරු කැට දිහා බලාගෙන කල්පනා කරපු හැටි, උදේ පාන්දර කල්ලඩි වෙරලේ ඉඳන් ඈත ක්ෂිතිජයෙන් නැගෙන නොඉඳුල් හිරු රැස් පිලිගත්තු හැටි, එන ගමන් බස් එකේදි ගමේ සීයගෙන් කතා අහනව වගේ අසන්තගේ රස කතා අහගෙන ආපු හැටි කොහොම අමතක කරන්නද ?

කට්ටියටම Training Places හොයල දෙන්න Company වලට කතා කර කර Training List ගොඩ දාපු හැටි, Training ඉවර වෙලා Tronix trip 4.0 යාල සෆාරි ගියපු හැටි, අසන්තගේ විකියාගේ සුනෙත්ගේ කතා අහගෙන මුලු රැයක් පලාටුපාන ලුණු ලේවාය ඉදිරිපිට නිදි නැතුව පහන් කල හැටි, ඊලඟ දවසේ කොටි බල බල බලි ඇර ඇර නිදාගත්තු හැටි, පොල්හේනෙන් නාලා ආගන්තුක සත්කාර විඳපු හැටි සදාතනික ස්මරණයන් බවට පත් වෙලා ඉවරයි.

අන්තිමටම E - Nite එක වෙනුවෙන් අපි මහන්සි වුන මේ හැමදෙයක්ම එක දිගට මතකයන් අතරේ රූපණය වෙන්න යන්නේ තත්පර දෙක තුනක් විතරයි. කවදාක හෝ මේ සියලු මතකයන් අතීතයට භාර කරලා සමුඅරගෙන යන්නට සිදුවුනත් මේ මතකයන් නිසාවෙන් නෙත් කෙවෙනි තෙත් වෙන එක වලක්වන්න නම් කිසිවෙකුටවත් පුළුවන්කමක් ලැබෙන එකක් නෑ.

ඇත්ත, අපි අනිත් අයට වඩා GPA එක ඉහළ දාන්න නැත්නම් Out වෙනකොට 1st Class එකක් 2nd Upper එකක් එක්ක Out වෙන්න මහන්සි වෙනවා වෙන්න පුළුවන්. තමන් ආස කරන දෙයක් ලබාගන්න මහන්සි වෙන එකේ වැරද්දක් නෑ නේ. හැබැයි GPA list වල කොහේ කොතනක හිටියත් ENTC එකත් එක්ක බැඳෙන මතකයන් හැමදාමත් අළුත් වේවි. ඒ නිසයි GPA List එකේ අගින් ඉන්න මම E-Nite එක වෙනුවෙන් මේ ලිපිය ලියනකොට, List මැදින් ඉන්න චන්දිමලා කුමුදිනීලා E-Nite වෙනුවෙන් මනරම් රැඟුම් රඟනකොට, සුනෙත්ලා හසිත්ලා චාමිකලා සමරු පොත හදනකොට, GPA list එකේම ඉහලින්ම ඉන්න අශෝක්ලා රඟ පාන්න එකතු වෙන්නේ.

මේ ගෙවෙන්නේ ENTC ශිෂ්‍යයෙකු විදියට සරසවියේ ගෙවන්න ලැබෙන අන්තිම අවුරුද්ද. අවුරුදු දෙකක්ම අපූරුවට ගලා ගියා වගේ මේ අවුරුද්දත් එකම පවුලක් වගේ ඉන්න ලැබේවි. උදේ පාන්දර CR පොතක් දෙකක් හරහට තනි අතට හිර කරගෙන ටී ෂර්ට් එකයි ඩෙනිම් කලිසමයි ඇඳගෙන ගොඩෙන් බිත්තර රොටියෙනුයි කිරි පැකට් එකෙනුයි උදේ ආහාර වේල පිරිමහගෙනම රූස්ස නුග ගහ යටින් සිසිල විඳගෙන ශාන්ත වූ බුදු රුව දෙස බලාගෙන Electronics and Telecommunication Engineering නම් ඒ විසල් නිවහනට පියනගන විට හිතට දැනෙන්නේ අහංකාර ආඩම්බරයක්. දැන් දැන් නම් ඒ සතුටට යටින් හීනියට ඇල්පෙනෙති තුඩකින් අනිනවා වගේ දුකක් දැනෙන්නෙ මේ සුන්දර ජීවිතයට සමුදෙන්න වෙලා ඉතුරුවෙලා තියන කාලය දවසෙන් දවස ගෙවිල යන නිසයි කියලා බුද්ධියට වැටහුනත් හදවත එය පිළිගන්නට ලෑස්ති නෑ. හදවත නිතරම ඒ සටනින් ජයගන්නේ අවුරුදු ගනණාවක මතකයන්ගේ මිහිර ඇස් දෙකෙන් පිට කරලා. මෙතනින් පස්සේ.... හ්ම්ම්ම්.... අපි ලෝකේ හතරදික් භාගේ විවිධ තැන්වල අපේ ලෝක ගොඩ නගාගනීවි. හැබැයි මේ මතකයන් හැමදාමත් අපිත් එක්කම ජීවත් වේවි. අපිව ජීවත් කරාවි.

සෑහෙන්න ලිව්වා. එහෙනම් ඉතින් මෙතනින් මගේ කතාවට මෙහෙම අවසානයක් තියන්න මට අවසර. මගේ සහෘදයෙක් වුනු බදුල්ලෙන් ආපු ආබිඩ් පහුගිය දවසක ENTC 08 FB group එකට මෙහෙම කවියක් ලිව්වා. මගේ මුලු කතාවම ඒ කවියේ තියනවා කියල වෙලාවකට මට හිතෙනවා.


මුල් වසරේ ඒ, බී, සී, කුමක වුවත්
ට්‍රේනින් ගියේ මොන කොම්පැනියක වූවත්
ආවේ ගමින් සිදාදියෙන් දුරින් වූවත්
ට්‍රොනික් අට නම් එක පවුලකි කුමක් වුවත්

ඒ නිසයි INexsus 2009 රොබෝ තරඟය හම්බන්තොට චානක ගාල්ලේ විශ්වත් එක්ක දිනනකොට උඩට එසවුනු අත් වලින් නැඟුනු අත්පුඩි හඬ, INexsus 2010 සහ INexsus 2011 කොළඹ අනුරුද්ධ කුරුණෑගල චානක එක්ක දිනනකොටත්, ඒ විදියටම කිසිම අඩුවකින් තොරව ඇහුනේ. කොහෙන් ආවත් අපි එක පවුලක මිනිස්සු නිසා……..

6 comments:

  1. පට්ටයි මචං..
    "මේ සියලු මතකයන් අතීතයට භාර කරලා සමුඅරගෙන යන්නට සිදුවුනත් මේ මතකයන් නිසාවෙන් නෙත් කෙවෙනි තෙත් වෙන එක වලක්වන්න නම් කිසිවෙකුටවත් පුළුවන්කමක් ලැබෙන එකක් නෑ."

    ReplyDelete
  2. Pattae mchn!!! Adenawa...mathak weddi...

    ReplyDelete
  3. ela ela machan... Written it perfectly flashing all the wonderful memories with ENTC 08.. :D

    ReplyDelete
  4. කෑ ගැස්සෙනවා සහෝ
    ENTC 08 පවුලට සාර්ථක සහ අභිමානවත් ඉදිරි ගමනක් සඳහා මගෙන් සුභ පැතුම් !!!!!!

    ReplyDelete
  5. sirawatama liyala thiyenawa...
    langadi mukuth une nadda..?? ko aluth lipi mukuth na ne :(

    ReplyDelete