හ්ම්ම් අද හරියටම 2011ක් වුන අප්රේල් කියල මාසෙක 11 වෙනිදා….වෙලාව රෑ 11යි 13යි…..මාස හතරක් තිස්සෙ මම මගෙ ඊලඟ බ්ලොග් පෝස්ට් එකට නිමිත්තක් හෙව්වා…හිතට වදින නිමිත්තක් නැතුව ලියවෙන පෝස්ට් එකකින් වැඩක් නෑ කියන එක තමයි එදා ඉඳන්ම මම හිතුවේ…හැමදාම පෝස්ට් දාන උදවිය ඕකට හිත් අමනාප කරගන්න ඕන නෑ ඕන්…මං කිව්වෙ මට හිතෙන මගේ මතය..කොහොම වුනත් කාලෙකට පස්සෙ මේ මහ රෑ එක පාරටම බ්ලොග් පෝස්ට් එකක් ලියන්න හිතුනේ ඒකට හරියන නිමිත්තක් අද දවසෙ මගේ ඇස් දෙක ඉදිරිපිට සිද්ද වුන නිසා වෙන්නැති…
ඇත්තටම අපේ ජීවිත වල තියෙන්නේ මහ පුදුමාකාර ගුප්ත බවක්..අපි අද මෙහම හිටියට හෙට කවුරු එක්ක කොහොම කොතැනක ඉඳීද කියන එක ගැන කාටවත් හරියටම කවදාවත් කියන්න බෑ…අපේ ජීවිත වලට එක එක මිනිස්සු එක එක කාල වලඩි එක එක වේශයන්ගෙන් එනව… ඒ වගෙම ටික කාලෙකින් ඒ මිනිස්සුම අපෙන් තාවකාලිකව හෝ සදාකාලිකව වෙන්වෙලා ගිහිල්ලා තවත් අලුත්ම පිරිසක් අපේ ජීවිත වලට එනව…ඒ වගේම කවද හරි ඒ මිනිස්සු ආපහු හමුවෙනකොට අපේ ජීවිත වල ඒ මිනිස්සුන්ගෙ ජීවිත වල මොන මොන විලම්බීත වෙලා තියනවද කියල දෙවියො තමයි දන්නේ.....ඉතින් ඇත්තටම අන්තිමට බැලුවොත් අපි හැම දෙනාගෙම ජීවිත ගොඩනැගිල තියෙන්නේ හමුවීම් හා වෙන්වීම් වලින්ම කියල කිව්වොත් ඒකෙත් වැරද්දක් නැහැ…
මමයි මල්ලියි අද ආවා ගම්පහ අවුරුදු නිවාඩුව ගත කරල යන්න අපේ ආච්චිලගෙ ගෙවල් වල.. ගම්පහ කිව්වට ඉතින් ගම්පහම නෙමෙයි….පල්ලේවෙල...... සමහරු නම් අහල ඇති… ඇත්තටම ලස්සන ගමක්…අපි දෙන්න මෙහෙට එනකොට හවස හතර විතර වුනා…ඇවිල්ල මූන කට එහෙම හෝදගෙන ආච්චි උයල දීපු රස බත් පිඟානත් අරගෙන දවල්ට කන්න ලෑස්ති වෙනකොටම ගේට්ටුව පැත්තෙන් සද්දයක් ඇහුන….ඔලුව උස්සල බලනකොට කවුදෝ ගෑනු මනුස්සයෙක් (වයස අවුරුඩු 37ක් විතර ඈති )… ගෑනු ලමයි දෙන්නෙකුත් එක්ක.....එක ලමයෙක් වඩා ගෙන ගෙදර දොරකඩට ඇවිල්ල ආච්චිත් එක්ක කතාව පටන් ගත්ත.. ඇය ඉල්ලා හිටියේ කන්න යමක් දෙන්න කියල…මේ සද්දෙ ඇහුනු පුංචි අම්මත් ටිකකින් එතනට ගියා....ඊට පස්සේ වුනේ මට හිතාගන්නත් බැරිදෙයක්..
එක පාරටම පුංචි අම්ම මේ ගෑනු මනුස්සයව අදුනගෙන වගේ කතා කරන්න ගත්තා….
පුංචි අම්ම : ඔයා කොහෙද ගෙවල්?
ගෑනු මනුස්සයා : වරකපොලට එහා…..
පුංචි අම්ම : එතකොට බෝතලේ පැත්තෙ හිටියේ නැද්ද ? ( බෝතලේ කියල ගමක් තියනවා)
ගෑනු මනුස්සයා : ඒ බදින්න කලින්නෙ අක්කේ…
(ගෑනු මනුස්ස්යගෙ මූනට එලියක් ආව… අඳුනන නිසා මොනව හරි ලැබෙයි කියල වෙන්න ඇතී
පුංචි අම්ම : ඔයාගෙ නම කුමුදුනී නේද ?
ගෑනු මනුස්සයා : නෑ අක්කේ.. මගේ නම…..(නමක් කිව්ව මතක නෑ.. )
කුමුදුනී කියන්නෙ අක්කේ පොඩි කාලේ මට අම්මයි තාත්යි ආදරේට කියපු නම නේ…
පුංචි අම්ම : බැඳල කොහෙද හිටියේ…???
ගෑනු මනුස්සයා : බැඳල පල්ලෙවෙල හිටිය…. මේ අක්ක මාව දන්න්වද???
පුංචි අම්ම : බඳින්න කලින් පල්ලෙවෙල කොහෙවත් හිටියෙ නැද්ද?
ගෑනු මනුස්සයා : මට නිච්චියක් නෑ නේ අක්කේ…
පුංචි අම්ම : ඔයාට මතක නැද්ද ඔයා බඳින්න කලින් පල්ලෙවෙල ගෙදරක හිටිය… ?????
(මමයි ආච්චියි දැන් බලන් ඉන්නව මේ මොකද්ද මේ වෙන්න යන්නේ කියල )
ගෑනු මනුස්සයා : අනේ මට එච්චර මතකයක් නෑ අක්කේ……
ඒ පාර පුංචි අම්ම බාප්පට කතා කලා…….. බාප්පව දැක්ක ගමන් ඒ ගෑනු මනුස්සය….
“ අනේ අක්කෙ මට මතකයි දැන් තමයි මට මතක් වුනේ… මං අක්කලගෙ ගෙදර නේද ඒ කාලෙ හිටියේ.. අර පොඩි බබෙක්ව බලා ගත්තේ… මට අක්කව එච්චර මතක තිබුනේ නෑ ඒත් මේ අයියව දැක්කම තමයි මතක් වුනේ….”
කියල එක පාරටම කියාගෙන යන්න ගත්තා…. බාප්ප ඒ පාර ඒ ගෑනු මනුස්සයගෙන් තව විස්තර ඇහුව… විස්තර අහල අද දවාලට ඒ මනුස්සයට කන්න දුන්න ලමයින්ටත් එක්කම… පොඩි එකාට අවුරුදු එක හමාරයි… ලොකු ලමයට අවුර්දු 14ක් කිව්ව…ඒත් දෙයියනේ… කොහොමද මෙහෙම හැම දාම හිඟමන් වලින් විතරක් ජීවත් වෙන්නේ…. ????
ඒ මනුස්සයගෙ හරි නම මොකද්ද කියල මං දන්නෙ නෑ…බාප්පලගෙ ලොකු නංගි පොඩි කලේ ඒ කියන්නෙ එයාට අවුරුදු දෙකක් විතර වෙනකොට එයව බලගන්න කෙනෙක් ඕන වෙලා තියනව… මේක බාප්ප මෙහෙ ගමේ කෙනෙකුට කිව්වම… එයාට කොලඹදි කුමුදුනී කියපු මේ ලමය මුනගැහිල තියනවා…කුමුදුනී එතකොටත් අඹේපුස්සෙ ගෙදරක වැඩ කරල එතනින් කොලඹ ගෙදරකට දාල එතනින් ගහනව කියල පැනල ඇවිත් යන්න තැනක් නැතුව තමයි ඉඳල තියෙන්නේ.. එතකොට කුමුදුනීට වයස අවුරුදු 17ක් විතර ඇතිලු…ඊට පස්සේ කොහොම හරි අර මනුස්සය කුමුදුනීව අරගෙන ඇවිත් බාප්පලට බාරදීල තියනවා.. කොහොම වුනත් කුමුදුනී ගේ අම්මල තාත්තලට මෙයා ඉන්න තැන ගැන දැනුවත් කරනන් ඕන නිසා දවසක් බාප්ප විස්තර අහගෙන බෝතලේ ට ගිහිල්ල තියනව ගෙදර හොයාගෙන.. එතකොට තමයි දැන ගන්න ලැබිල තියෙන්නෙ කුමුදුනීගෙ අම්මයි තාත්තයි දෙන්නම නැති බව එයාල වැඩ කරල තියෙන්නේ ශ්රී ලංකන් ගුවන් සේවයේ…...දවසක් කාර් අනතුරකින් දෙන්නම ජීවතුන් හැර ගිහින්……මෙයාව විතරක් මේ ලොකේ තනිකරල ඊට පස්සේ කුමුදුනී හැදිල තියෙන්නේ එයාගේ නෑදෑ සනුහරෙත් එක්ක…
එයාල තමයි බෝතලේ ඉඳල තියෙන්නේ.. ඊට පස්සේ බාප්ප එහෙට ගිහිල්ල විස්තරේ කිව්වම එයාලත් කැමති වෙලා කුමුදුනීව බාප්පලත් එක්ක තියන්න….ඒත් ටික කාලයක් ගියාට පස්සේ එක පාරටම ඇවිල්ල මොකද්දෝ ලොකු බොරුවක් කියල මෙයාව ආපහු අරගෙන ගිහින් තියනවා….ඒ මීට අවුරුදු 15කට විතර උඩදී… ඊට පස්සේ අවුරුදු 15ක් තිස්සෙ මේ මනුස්සය ගැන ආරංචියක් ලැබිල නෑ අද වෙනකම්.. ආහ්…. කසාදයක් බැඳල පල්ලෙවෙලම පදිංචි වෙලා ඉන්නව කියල විතරක් දැන ගන්න ලැබිල තියනව එච්චරයි…
ඔය ටික මං අහගත්තේ සෙරම ඉවර වෙලා බාප්පයි පුංචි අම්මයි එක්ක මේ ගැන කතා කරනකොට.. බාප්ප මට කියපු විස්තරේ මුල ටික තමයි ඔය… ඉතුරු ටික කිව්වෙ කුමුදුනීම එයා කෑම කන වෙලාවේ… ඒ මනුස්සය කියපු කතාව ඇත්තටම හරිම අනුවේදනීයයි..
සමාජ සම්මතයන් එක්ක ජීවත් වෙන කෙනෙකුට වුනත් තමන්ගෙ ජීවිතය වෙනස් වෙන හැටි හිතාගන්න බැරිබව ඒ කතාවෙන් මට හොඳටම තේරුනා… මං මේ වගේ දේවල් ඕන තරම ටීවී එකෙන් කතා පොත් වලින් ජීවිතේට අරගෙන තියන්ව.. ඒත් ඒ වගේ දෙයක් ඇත්තටම තමන්ගෙ ඇස් දෙක ඉදිරිපිට සිද්ද වෙන එක බ්ලොග් පෝස්ට් එකක් දක්වා යන තරමට මාව සංවේදී කරයි කියල මං නිකමටවත් හිතුවෙ නෑ….
එදා කුමුදිනීව එක්ක යන්න ඇවිල්ල තිබුනෙ හදාගත්තු අම්මගෙ ඇත්ත දුව..එය රට යනවාය ඒ නිසා අම්මට සාංකාව වගේය කියලයි කුමුදිනීව එක්කන් යන්න ඇවිල්ල තිබුනේ.. කුමුදිනීත් ඒ අම්මට හුගක් ආදරෙයි..ඒකත් ඇත්තනේ.. තමන්ගෙ අම්ම නැති කොට හදාගත්තු අම්මටවත් ආදරේ කරන්න ඕනනේ.. ඉතින් මෙයත් එක පයින් කැමති වෙලා ගිහිල්ලා…ඊට පස්සෙ අර මිනිස්සු කරල තියෙන්නේ එහෙදි මෙයාව මිනිහෙකුට කසාද බන්දල දීලා…ඒ මනුස්සයත් නිකන් මනුස්සයෙක් නෙමෙයි බීරෙක් ලු…ඒ විතරක් නෙමෙයි නොම්බර එකේ බේබද්දෙක් ලු…ඉතින් ජීවිතයක් විනාස වෙන එක අහන්නත් දෙයක්ද?
ඒ මනුස්ස්යට දාව දරුවො 4ක්…….. පිරිමි ලමයි දෙන්නයි ගෑනු ලමයි දෙන්නයි…ඔහොම ජීවත් වෙනකොට දවසක් වාහනේකට යට වෙලා අර කසාද මනුස්සය මැරිල…ඇයි ඉතින් බීරෙක් නේ ඇහෙන්නෙ නැති නිසා දකින්න නැතුව ඇති…ඊට පස්සේ මෙයා තනියෙන් රස්සාවක් කරන්න ගිහින් එතනත් මාස 5ක් වැඩ අරගෙන පඩි දෙන්නෙ නැතුව එලවල දාල..අන්තිමට කරගන්නම දෙයක් නැති කමට පිරිමි දරුවො දෙන්න මහණ කලාලු…
හිතල බලන්න……. කරන්නම දෙයක් නැති කමට පිරිමි දරුවො දෙන්න මහණ කරල තියෙන්නේ… ඊට පස්සේ කොහෙන් හරි කාමර කෑල්ලක් ලැබිල තියනව ජීවත් වෙන්න...දැන් ඒකෙ ජීවත් වෙනව අර ගෑනු ලමයි දෙන්නත් එක්ක.. පොඩි එකාට අවුරුදු එක හමාරයි.. ලොකු ලමයට අවුරුදු 14ක් විතර…. හැමදම ඉතින් හිඟමන් ගිහිල්ල හාල් ටිකක් පොල් ගෙඩියක් එකතු කරගෙන ගිහිල්ල උයාගෙන කනවලු….. අද දවල් ගෙදර වාඩි වෙල කන ගමනුත් කුමුදිනී කිව්වෙ අනේ මං අක්කයි අයියයි එක්ක හිටියනම් තාමත් සතුටෙන් ඉන්නව නේ නේද කියල…
කුමුදිනී ඊට පස්සේ කෑම එහෙම කාලා බීලා යන්න ගියා.. ලමයි දෙන්නත් එක්ක.. සමහර විට ආපහු යන්න ඇත්තේ රෑට කෑමට දෙයක් හොයාගෙන තවත් ගෙදරකට වෙන්න ඇති.... ඒ තුන්දෙනා අන්තිම තිතටම නොපෙනී යනකන් අපි හතර දෙනා බලාගෙන හිටියේ මනුස්ස ජීවිතයක් කියන්නෙ මොන තරම් සංකීර්ණ අපිට තේරුම් ගන්න බැරි දෙයක්ද කියල හිතමින්... මොකද්දෝ කියාගන්න බැරි දෙයක් එක එක්කෙනාගෙ හිත් ඇතුලෙ හිර කරගෙන බව අපිට අපේම මූනු දිහා බැලුවම තේරුනා.....
ඔන්න ඕකයි කතාව….
අවුරුදු 15කට කලින් හුඟක් සතුටෙන් මේ ගෙදරින් පිට වෙලා ගිය කුමුදිනී අද අහම්බෙන් ආපහු ආවේ කන්න දෙයක් නැතුව තව දරුවො දෙන්නෙකුත් එක්ක හිඟමන් ඉල්ලගෙන… කලින් කිව්ව වගේ අපිට අපේ ජීවිත වලට යන එන මිනිස්සු හමුවෙනවා වෙන්වෙනවා සමහර අය ටික කාලෙකට තවත් අය ලොකු කාලෙකට පස්සෙ ආපහු හමුවෙනවා….
ඒත් ඒ අවස්ථා සතුටෙන් කෙලවර වෙනව විතරයි මම නම් දැකල තියෙන්නේ..
ඒත් මේක ඊට වඩා වෙනස්…..මෙතන දැනුනේ පුදුමාකාර දුකකුයි අනුකම්පාවකුයි විතරයි… ඒත් මේ විදියට හමුවෙන එක නම් කොහෙත්වම සාධරණ විනිශ්චයක් නෙමෙයි කියලයි මට හිතුනේ.. දෙවියන් හෝ දෛවය හෝ කවුරු හරි…..අපේ ජීවිතත් එක්ක මහ පුදුම සරදමක් කරන්නේ කියල මට අද පලවෙනි වතාවට හිතුනේ මේ වෙච්ච දේත් එක්ක…
මං දන්නවා පෝස්ට් එක දිග වැඩියි…කියවන්න හිතෙන එකකුත් නෑ..ඒත්…තාමත් මගෙ හිතේ ඇති වුන සන්තාපය පහවෙලා ගිහිල්ල නෑ…ඒක නිසා වෙන්න ඇති අද පෝස්ට් එක ලියනකොට හරියට පද ටික ගැලපෙන්නෙ නැත්තෙත්….
හ්ම්ම් දැන් වෙලාව 1යි 11යි…..හෙට උදෙන්ම ආපහු 5යි 15ට ඇහැරෙන්නත් ඕන..එක දිගට පෝස්ට් එකක් ලියපු පලවෙනි පාරද මන්ද….පැය දෙකක් තිස්සෙ හිතේ තිබුනු ආවේගෙත් එක්ක ඔට්ටු වේවී හරි මෙහෙම ලියාගත්තේ මට මගෙ හිත නිදහස් කරගන්න ඕන වුනු නිසා….
ඔයාලත් හිතල බලන්න තමන් එක්ක එක ගෙදර එකට ඉඳගෙන එක බත් එක කාපු මනුස්සයෙක් අවුරුදු පහලවකට පස්සේ දරුවො හතර දෙනෙකුත් එක්ක හිඟමන් ඉල්ලන්න තමන්ගෙම ගෙදරට ආවොත් මොන වගේ හැඟීමක් ඔයාලට දැනෙයිද? ????
ඒක නිසා වෙන්න ඇති රෑ කෑම කාල ඉවර වෙලා පුංචි අම්මා අපිත් එක්ක කිව්වේ.. “ පුතේ අද නම් මගෙ ජීවිතේ හුඟක් දුක හිතුනු දවසක් “ කියලා……….
බලන්න කාලය කොතරම් නපුරුද කියලා …..….
ඇත්ත ජීවිතේ මෙහෙම දේවල් වෙනවා කියන එක හිතාගන්නත් අමාරුයි... ඇත්තටම ගොඩක් සංවේදී කතාවක්. බොහොම ස්තුතියි මචන් මේ කතාව අපිත් එක්ක බෙදා හදා ගත්තට. ඒත් උඹ ඒකට කාලයේ නපුරුකම කිව්වට මට නම් හිතාගන්න බෑ මේක මොකේ නපුරුකමක්ද කියලා...
ReplyDelete"මං දන්නවා පෝස්ට් එක දිග වැඩියි…" මේක දැක්කම මම උඩට scroll කරලා බලනකන් මට පොස්ට් එකේ දිගක් තේරුනේ නෑ. ඉතින්... "කියවන්න හිතෙන එකකුත් නෑ" කියන එකනම් පිස්සු කතාවක්... මොන මෝඩයටද මේ වගේ පොස්ට් එකක් කියවන්න නොහිතෙන්නේ...
නිතර පොස්ට් නොදැම්මට කමක් නෑ මචන්... ඒත් ඕනෙවට වැඩ කල් නිහඬව ඉන්න එපා... එක අපිට කරන අසාධාරණයක්...
එහෙනම් මචන්... සුභ අලුත් අවුරුද්දක්ම වේවා...
වහනයක්.....මොකටද,ගමනක් යන්න...
ReplyDeleteකොහොම එකක්ද මම ගන්නේ....කරන්න දෙයක් නෑ එකක් ලැබුන
එතකොට පාර හොදයිද දන්නේ නෑ....
එකත් ඔන්න තෝරලලු....අපෝ පාරනම් හරිම නෑ....මේකේ බ්රේක් නුත් නෑනේ ,,වලවල් ගොඩයි..
අප්පා දැන් නම් තියෙන්නේ අමාරු පාරක්
අපොයි රෝදයකුත් ගැලවෙලා ගියා..!
යන්න බැරිවෙයි වගේ.....අනෙක් අය ගැන හිතනකොට ගමන නවත්තන්න හිතෙනවා.එත් එහෙම පුලුවන්ද????
ටිකෙන් ටික ඉදිරියට ඇදෙනවා....බොහොම අබලන් !!!
වාහනේ ඉවරයි....එතකොට ගමන ???
තවත් වාහනයක් ....!@#$
කොච්චර දුරකටද?කව්රු එක්කද? අනේ මොකටද?
සංසාරේ..............
ඇඩෙනවා මචන්. ලොවෙත් නෑ...
ReplyDeleteමට හිතාගන්න බෑ මොන වගේ දෙයක් ලියන්නද කියල මේක දැක්කම... ඇත්තටම අපේ ජීවිත දිහා ආයෙත් හැරිල බලන්න, මේ ලෝකෙ දිහා, මිනිස්සු දිහා උපේක්ෂාවෙන් යුතුව හිතන්න යොමු කරන ශ්‍රේෂ්ඨ ජීවිත අත්දැකීමක් අපිත් එක්ක බෙදාගත්තට උඹට පින් මචන්... උඹ ලියපු වචන ටික රත්තරන් වටිනවා....
ReplyDelete@ භාතිය , නවිඳු , ක්‍රිශාන් , ලක්ෂිත : මචං බොහොම ස්තූතියි උඹලගෙ ප්‍රතිචාර වලට... ඒවා ඇත්තටම හුඟක් සංවේදී වුනා මට මේ කතාව වගේම.... කොහොම වුනත් මචං අපිට අපේ ජීවිත වල අනිත් මිනිස්සු වෙනුවෙනුත් කරන්න යමක් ඉතුරු වෙලා තියන බව මට මේ සිද්දියත් එක්ක හොඳටම තේරුණා.....උඹල හැම දෙනාටම වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක්ම වේවා....
ReplyDeleteජීවිතේ හැටි එහෙම තමා කියලයි කියන්න තියෙන්නේ. හැමදේම කැමති විදිහට වෙන්නෙත් නැහැ. එක එක අයට එක එක විදිහට තමා ප්‍රතිඵ්ල තියෙන්නේ.
ReplyDeleteඅනේ මන්දා ajeeba dasatan he ye
මේක අහම්බෙන් දැක්ක එකක්. හොඳ ලියවිල්ලක්. ඒත් දැන් ලියන පාටක් නම් නෑ නේද...
ReplyDelete